1914 වසරේ දී තලෙයිමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය සහ ඉන්දු ලංකා දුම්රිය සේවය ආරම්භයේ පටන්ම විවිධාකාර අභියෝග රාශියක්ම ඊට එල්ල වූ බව පෙනේ. ඒකාබද්ධ දුම්රිය සේවයේ මංගල ගමන් වාරය වෙනුවෙන් දායකත්වය දැක්වූ තලෙයිමන්නාරම දකුණු ජැටිය භාවිතයෙන් ඉවත් කිරීම එහි පළමු අවස්ථාවයි. ඉන් අනතුරුව ස්වාභාවික ආපදා තත්වයන්වල දී මෙම ඒකාබද්ධ දුම්රිය සේවය අවස්ථා කිහිපයක දීම තාවකාලිකව නතර කර තිබෙන අතර 1984 වසරෙන් පසුව එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන උතුරේ යුද්ධය මුල් කරගෙන තලෙයිමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය සහ ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවාය පවත්වාගෙන යාම අභියෝගාත්මක වූයේය. එහි අවසාන ප්‍රතිඵලය බවට පත්වන්නේ 1990 වසරේ මැද භාගයේ දී මෙම දුම්රිය මාර්ගයේ මෙහෙයුම් කටයුතු අතහැර දැමීම යි.
මෙවර ලිපියෙන් අවධානය යොමුවන්නේ ඒ ආකාරයෙන් මන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වූ අභියෝග, ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවය අඩපණ වීම සහ යුද්ධයෙන් පසුව තලෙයිමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කළ ආකාරය පිළිබඳව යි. එසේම මෙම ලිපිය ”
දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය”
ලිපි පෙළේ අවසන් ලිපිය යි.
දකුණු ජැටිය භාවිතයෙන් ඉවත් කිරීම
දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී මන්නාරම දූපතේ උතුරු ජැටිය හා දකුණු ජැටිය වශයෙන් ජැටි 02 ක් ඉදිකළ බව පෙර දී සඳහන් කර ඇත. ඒ අතරින් තලෙයිමන්නාරම දකුණු ජැටිය වඩාත් වැදගත් වන්නේ එය දෙරට අතර පළමු දුම්රිය ගමන වෙනුවෙනුත් දායකත්වය දක්වන ලද නිසාවෙනි. නමුත් මෙම ජැටිය ඉතාමත් කෙටි කාලයකින්ම භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවිය. එය භාවිතයෙන් ඉවත් කරන ලද නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති වුවත්; ආසන්න වශයෙන් 1917 සහ 1918 වර්ෂ අතර කාලයේ දී මෙම දකුණු ජැටිය භාවිතයෙන් ඉවත් කරන්නට ඇතැයි විශ්වාස කිරීමට පුළුවනි. වර්තමානය වන විට තලෙයිමන්නාරම ඕල්ඩ් පියර් ග්‍රාමයේ (Old Pier) දකින්නට ඇත්තේ එසේ ගලවා ඉවත් කිරීමෙන් පසුවද ශේෂ වූ දකුණු ජැටියේ දිරාපත් කොටසකි. ප්‍රදේශවාසීන් අදට ද මෙම දකුණු ජැටිය හඳුන්වන්නේ “ඕල්ඩ් පියර් එක” හෙවත් “පරණ ජැටිය” යනුවෙනි.
විල්වත්ත දුම්රිය අනතුර
මන්නාරම් දුම්රිය මාර්ගය හා සම්බන්ධ වඩාත් ප්‍රසිද්ධියට පත්වූ දුම්රිය අනතුර වූයේ 1964 ඔක්තෝම්බර් 17 වැනි දින මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර ස්ථානයකදීය. ඒ, තලෙයිමන්නාරම තොටුපොළ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ අංක 400 දරන රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමෙන් සිදුවූ දුම්රිය අනතුරයි. එදින එම දුම්රියට කැනඩාවේ නිෂ්පාදිත එම් 02 (M2) පන්තියේ අංක 572 (British Colombia) එන්ජිමෙන් බලය සපයන ලදී. ලී වලින් සාදන ලද මගී මැදිරි සහ වෙනත් ගැල් 23 කින් සමන්විත වූ දුම්රිය උදෑසන 6 ත්, 6.30 ත් අතර වේලාවක දී මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර “S” හැඩැති වංගුවක් තිබූ ස්ථානයක දී පීලි පැනීම සිදුවූයේ මගීන් 25 ක් මරණයට පත් කරමින් සහ තවත් මගීන් 88 දෙනෙකුට බරපතළ තුවාල සිදුකරමිනි.
අනතුර පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර, හිටපු අධිකරණ කොමසාරිස්වරයෙකු වූ ඩී.ඊ. විජේවර්ධන එහි සභාපතිවරයා විය. ඒ හැරෙන්නට මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා සහ ඉන්දියාවේ දුම්රිය ඉංජිනේරුවරයෙකු වන ඒ.කේ. ගුප්තා යන අය මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වශයෙන් කටයුතු කර ඇත.
මේ අතර විල්වත්ත අනතුරෙන් අගතියට පත්වූවන්ට ලබාදුන් සමස්ත වන්දි මුදලේ වටිනාකම රුපියල් එක්ලක්ෂ හැත්තෑ හතරදහස් හත්සිය විසි හයක් (රු. 174,726/=) ක් වූයේය.
1964 සුළි කුණාටුව
1964 වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ දරුණු සුළි කුණාටුවක් පෝක් සමුද්‍ර සන්ධිය හරහා හමායෑමේ දී දෙරටටම දැඩි හානියක් සිදුකරන ලදී. මෙම සුළි කුණාටුවෙන් ඉන්දියාවට එල්ල වූ බලපෑම වඩාත් දරුණු විය.
එම වසරේම දෙසැම්බර් මස 23 වැනිදා පම්බන් පාලම හරහා ධනුෂ්කොඩිය වෙත ඇතුළු වෙමින් තිබූ අංක 653 දරන මගී දුම්රිය රාමේෂ්වරම් පාර සහ ධනුෂ්කොඩිය දුම්රිය ස්ථාන අතර අංක 681 හා 682 කිලෝමීටර කණු ආසන්නයේදී කුණාටුව නිසා හටගත් අඩි 25 ක් පමණ උස යෝධ උදම් රළට හසු වීමෙන් සම්පූර්ණයෙන්ම පෙරළී යාමෙන් මගීන් 100ත් 110ත් අතර ප්‍රමාණයක් සමග දුම්රිය කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකුට සිය ජීවිත අහිමි විය. ඉන් පම්බන් පාලමට ද දැඩි හානි සිදුවී ඇත. ධනුෂ්කොඩි ගම්මානයට ද දැඩි හානි සිදුවූයේ පුද්ගලයන් රැසකට ජීවිත අහිමි කරමින් ය. මේ හා සමාන විශාල දේපළ හානියක් ද සිදුවිය.
උතුරේ ත්‍රස්තවාදය සහ ඉන්දු ලංකා දුම්රිය සේවයේ බිඳ වැටීම
1990 වසරේ මුල් භාගය වන විට මන්නාරම ඇතුළු දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල L.T.T.E. ක්‍රියාකාරකම් දරුණු තත්ත්වයකට පත්ව තිබුණේය. මේ නිසාවෙන් මගී ප්‍රවාහන දුම්රියවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ද තිබීම හේතුවෙන් දුම්රිය දේපළ වල සහ දුම්රිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයක් මතුවිය. ඒ අනුව 1990 වසරේ ජුනි මස මැද භාගයේ දී අනුරාධපුර සිට ඉහළට දුම්රිය ධාවන කටයුතු නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළ නිසා තලෙයිමන්නාරම තොටුපොළ සහ කොළඹ කොටුව අතර මන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය ද සම්පූර්ණයෙන්ම නැවතී ගොස් තිබෙන බව එම වසරේ ආසන්න දිනවල පුවත්පත් පරිශීලනයේ දී තහවුරු කරගත හැකිය.
ඊට මාසයකට පමණ පසුව, 1990 ජූලි 25 වැනිදා ප්‍රධාන ගොඩබිම සහ මන්නාරම දූපත යා කරමින් ඉදිකර තිබූ මන්නාරම තල්ලඩි දුම්රිය පාලම L.T.T.E. ත්රස්තවාදීන් විසින් පුපුරවා හරින ලදී. මැදවච්චිය දෙසින් එන දුම්රියකට මන්නාරම් දූපත වෙත ඇතුළු වීමට තිබූ අවස්ථාව මේ සමග අවහිර වී ගියා පමණක් නොව ප්‍රධාන දිවයින සහ මන්නාරම දූපත ගොඩබිම් සම්බන්ධතාවන් ද එයත් සමග සහමුලින්ම ඇනහිටියේය.
යුද්ධයෙන් පසුව ප්‍රතිසංස්කරණය කළ තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය
කාලයේ වැලි තලාවෙන් සැඟවී ගිය තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය නැවත කරලියට පැමිණෙන්නේ 2009 වසරේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමෙන් අනතුරුවයි. පළමු අදියර වශයෙන් මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට මඩු පාර දුම්රිය ස්ථානය දක්වා ඉදිකිරීම් කටයුතු නිමාකොට 2013 මැයි 14 වැනිදා ජනතා අයිතියට පත් කළ අතර, දෙවැනි අදියර වශයෙන් මඩුපාර දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම් තොටුපළ දුම්රිය ස්ථානය දක්වා ඉදිකිරීම් කටයුතු නිමා කොට 2015 මැයි 15 වැනිදා ජනතා අයිතියට පත් කිරීම සිදුවිය. මෙම දෙවැනි අදියර ජනතා අයිතියට පත්කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි.
එසේ වූවත්, තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ සමෘධිමත් කාල පරිච්ඡේදය වශයෙන් සැලකීමට හැකිවන්නේ උතුරේ යුද්ධය ආරම්භ වීමට පෙර අවධිය යි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ඉදිකළ තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයෙන් නිසි ඵල නෙළා ගැනීමට මෙරට දුම්රිය බලධාරීන් කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව තිබෙන්නේ ඇත්තෙන්ම ප්‍රශ්නාර්ථයකි. දැනුදු මෙම දුම්රිය මාර්ගයේ ධාවනය කරන්නේ දෛනික ගමන්වාර ද්විත්වයක් පමණි. ඒ කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම් තොටුපළ දක්වා ධාවනය වන අංක 5003 දරණ සීඝ්‍රගාමී දුම්රිය සහ තලෙයිමන්නාරම් තොටුපළ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 5004 දරන ශීඝ්‍රගාමී දුමිරිය යි. අවම වශයෙන් මාර්ගයේ මෙහෙයුම් වියදමවත් ආවරණය කරගැනීමට තරම් මෙම ගමන් වාර ද්විත්වය ප්‍රමාණවත් වන්නේ ද යන්න නැවත නැවතත් විමසිය යුත්තකි.
ඓතිහාසික ගමනාන්තයක් වශයෙනුත්, සංචාරක ගමනාන්තයක් වශයෙනුත් දැවැන්ත ආර්ථික වටිනාකමක් සහිත මෙම දුම්රිය මාර්ගය මීට වඩා සාධනීය ආකාරයෙන් භාවිතයට ගැනීමට දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමු වීම අනිවාර්ය අවශ්යතාකි.
තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය ගැන තවත් දැනගන්න පුළුවන්....
තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය යනු ඒ තරමටම මෙරට ආර්ථික හා සමාජීය හැඩගැසීම සඳහා දැවැන්ත බලපෑමක් එල්ල කළ දුම්රිය මාර්ගයක් වූයේය. 1895 වසරේ සිට මේ දක්වා දුම්රිය මාර්ගයේ තොරතුරු රැගත් “දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය” පර්යේෂණ කෘතියෙන් මේ පිළිබඳව දීර්ඝ කාලයක් සැඟවී තිබුණු තොරතුරු රැසක් දැන් පාඨකයන්ට විවෘතව තිබේ.
එම්.ජී. නාපේවිතාන
[email protected]