පෙරභව පුද්ගල නාමය එලෙසම ලැබූ දරුවෝ


පෙරභවයේ ප්‍රබල සාක්කි 

  • ශ්‍රී ලංකාවේ දරුවන් කීප දෙනෙක්ද පෙරභව නම එලෙසම ලබා ඇති අතර ඇතැම් දරුවන්ට නමේ මුල් අක්ෂරය සමානවූ අවස්ථාද ඇත.  

 

​දරුවෙකු මෙලොව උපත ලැබු විට දෙමාපියන්ගේ ප්‍රධානතම කාර්යය වන්නේ එම දරුවාට නමක් තැබීමය. බොහෝ විට ජ්‍යෝතිෂය මගින් දෙනු ලබන අක්ෂර උපයෝගී කරගෙන නම් යෙදීමද සිරිතය. දෙමාපියන් බොහෝ විට උත්සාහ කරන්නේ අසමාන නම් තම දරුවන්ට තැබීමටය.  


පුනර්භව පර්‌යේෂණවලට සම්බන්ධ ඇතැම් දරුවන්ට පෙර භවයේ පුද්ගලනාමයම එලෙසම ලැබී තිබීම විශේෂ සිදුවීම් ලෙස සැලකේ. ඒ අයුරින්ම පෙර භව නම ලැබී ඇති දරුවන් කීප දෙනෙක් රටවල් රැසකින් හමුවී සිටිති. පෙර භවයේ නම් ඒ ලෙසම ලැබූ දරුවන් උපත ලබා ඇත්තේ තුර්කිය, බුරුමය, එංගලන්තය, ඇලස්කාව, ඇමරිකාව, කැනඩාව, ඉන්දියාව, නයිජීරියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාවේය.  


ශ්‍රී ලංකාවේ දරුවන් කීප දෙනෙක්ද පෙරභව නම එලෙසම ලබා ඇති අතර ඇතැම් දරුවන්ට නමේ මුල් අක්ෂරය සමානවූ අවස්ථාද ඇත.  


එකම නම ඒ අයුරින්ම ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම දරුවා උපත ලබා තිබුණේ දොම්පේ ප්‍රදේශයේදීය. ඉතා වැදගත් පුනර්භව සාක්කි ඇතුළත් එම දරුවාගේ මරණය සිදුවී තිබුණේ ළිඳේ වැටීමක් නිසාය. දෙමාපියන් නොදැනුවත්ව ළිඳ වෙත ගිය දරුවා ළිදේ වැටී මරණයට පත්ව සිටි බැව් දෙමාපියන් දැනගත්තේ පැය ගණනකට පසුවය. එම දරුවාගේ පෙරභව ජීවිතය තොරතුරු නිවැරදිව හෙළි කිරීමට යළි උපත ලැබූ දරුවාට හැකිවිය. පෙරභවයේ මියගිය දරුවාට නම් තබා තිබුණේ රුවන් සම්පත් යනුවෙනි.  


මෙම පුනර්භව සාධකයේ අතිශය පුදුම සිදුවීම වූයේ පෙරභවය හෙළි කළ දරුවාටද දෙමාපියන් විසින් රුවන් සම්පත් ලෙසටම නම් තැබීමය. මියගිය දරුවා පිළිබඳව හෝ ඔහුගේ නම පිළිබඳව එම දෙමාපියන් නොදැන සිටීම විශේෂත්වය විය. ඔවුන්ගේ නිවෙස් අතර දුර ප්‍රමාණයද සැතපුම් දහයකටත් වඩා වැඩිය.  


එම දරුවාට එකම නම යෙදී තිබීම පිළිබඳව ජර්මනියේ ගොටින්ගන් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සුර්ට් බර්ටි විසින්ද වෙනමම පර්‌යේෂණයක් සිදු කළේය. දරුවන් බිහිවීමට සිටින මව්වරුන්ගේ මානසික හැඟීම් (MATERNAL IMPRESSION) යටතේ එම මනෝ විද්‍යා පර්‌යේෂණය සිදු කැරිණි. පෙරභවයේ මවගේ මනසත් මියගිය දරුවාගේ මනසත් අතර ඇති සබඳතා මනෝ විද්‍යාත්මක විමර්ශනය කිරීමට ඔහු විසින් සටහනක්ද නිර්මාණය කළේය. රුවන් සම්පත් යන නම් දෙකම ඒ අයුරින්ම දරුවාට ලැබී තිබීම පිළිබඳව ඔහු ඉදිරිපත් කළ පර්‌යේෂණ වාර්තාව මගින් එය හඳුන්වා දී ඇත්තේ (PREVIOUS PERSONALITY MATERNAL IMPRINTING) යනුවෙනි.  


පෙර භවයේ පුද්ගල නාමය එලෙසම ලබා සිටි තවත් දරුවෙක් උපත ලබා තිබුණේ ඇලස්කාවේදීය. මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් සිදුකළ එම පර්‌යේෂණයේ පෙරභවය හෙළි කළ දරුවාගේ නම වූයේ (WILLIAM GEORGE) විලියම් ජෝර්ජ් යනුවෙනි. බෝට්ටුවක ගමන් කරමින් සිටියදී දියේ ගිලී මරණය සිදුවූ පුද්ගලයෙකු​ගේ ජීවිත තොරතුරු එම දරුවා විසින් හෙළි කරන ලදී. පෙරභවයට සම්බන්ධ කරුණු දහසක් පමණ එම පර්‌යේෂණයේදී සනාථ විය. එහි තිබූ විශේෂත්වයද වූයේ මිය ගිය පුද්ගලයාගේ නමද (WILLIAM GEORGE) විලියම් ජෝර්ජ් වීමය.  


විලියම් ජෝර්ජ් නම් පෙර භවය හෙළි කළ එම දරුවා මව්කුස සිටියදී මියගිය පුද්ගලයා මවට සිහිනෙන් දක්නට ලැබීමේ සුවිශේෂී සිදුවීමක්ද මෙම පුනර්භව සාධකයේ දක්නට ලැබේ.  


තුර්කියේදී උපත ලද තවත් දරුවෙක් පෙර භවය හෙළි කරමින් කියා සිටියේ ඔහුගේ පෙර භව මරණය වෙඩි වැදීමකින් සිදුවූ බවකි. ඔහුට නම් දී තිබුනේ CEMIL යනුවෙනි. වෙඩි පහර එල්ල වූ ස්ථානයේ සිරුරේ පැහැදිලි උපන් ලපයක්ද එම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කිය බවට පත්විය. පුනර්භව පර්‌යේෂකයකු වූ රිසෙටි බේයර් විසින් එම දරුවා පිළිබඳව ප්‍රථම පර්‌යේෂණ 1967 වසරේදී සිදු කැරිණි. එම පර්‌යේෂණයේදී පෙරභවය පිළිබඳව දරුවා අනාවරණය කළ තොරතුරු රැසක් සනාථ කිරීමට හැකිවිය. පෙරභවයේ පුද්ගල නාමයද CEMIL යනුවෙන් වීමද එහි විශේෂත්වය විය.  


තුරුකියේදී උපත ලද තවත් දරුවෙක් නම් කර තිබුණේ MAHUT යනුවෙනි. ඔහුද හෙළි කළේ වෙඩි තබා ඔහු ඝාතනය කළ බවකි. එම දරුවා අනාවරණය කළ තොරතුරු අනුව පෙර භවයේ නෑ හිත මිතුරන් සොයා ගැනීමටත් ඔවුන් හඳුනා ගැනීමටත් එම දරුවාට හැකි විය. එහිදී අනාවරණය වූ වැදගත් කරුණ වූයේ පෙරභවයේ තැනැත්තාගේ නමද MAHUT යනුවෙන් හඳුන්වා දී තිබූ බවය.  


ඇලස්කාවේදී උපත ලද තවත් දරුවෙක් දෙමාපියන් විසින් නම් කර තිබුණේ HENRY යනුවෙනි. ඔහු පැවසුවේ පිහි ඇනුමකින් පෙරභව මරණය සිදුවූ බවකි. එම දරුවාගේද උපතින් සිරුරේ පිහිටා තිබූ උපන් ලපයක් ඇති ස්ථානයට පිහි පහර එල්ල වූ බැව් හෙළි කළේය. ඔහු අනාවරණය කළ පෙරභව පවුලේ ඥතීන් සොයා ගැනීමටත්, ඔවුන් හඳුනා ගැනීමටත් එම දරුවාටද හැකිවිය. පෙරභවයේ මියගිය පුද්ගලයාගේ නමද HENRY වීමද මෙම පුනර්භව සාධකයේ සුවිශේෂී කරුණ ලෙස පිළිගැනිනි.  


කැනඩාවේදී උපත ලැබූ දරුවෙකුට දෙමාපියෝ නම් දී තිබුණේ JAMES යනුවෙනි. පිළිකා රෝගය නිසා ඔහු මරණයට පත්වූ බැව් එම දරුවා විසින් ප්‍රකාශ කරන ලදි. ඔහු හෙළි කළ පෙරභව සොයා සිදුකළ පර්‌යේෂණයේදී අනාවරණය වූයේ පෙර භවයේ පුද්ගල නාමයද JEMES ලෙස හඳුන්වා තිබූ බවය.  
ඉන්දියාවේදී උපත ලැබූ දරුවෙක් නම් ලබා තිබුණේ PAPPU යනුවෙනි. මිනී මැරුමකට ලක්ව ඔහුගේ පෙර භව​යේ මරණ සිදුවූ බැව් එම දරුවා හෙළි කළේය. ඔහු අනාවරණය කළ පෙරභව තොරතුරු සනාථ වූ අතර පෙරභවයේ පවුලේ ඥතීන්ද හඳුනා ගැනීමට ඔහුට ද හැකියාව ලැබිණි. පෙරභවයේ ඔහුගේ පුද්ගල නාමය ලබා දී තිබුණේ PRAGU ලෙසය.  


මෑතකදී ඇමරිකාවේදී සිදු කළ පුනර්භව පර්‌යේෂණයකට ලක්වූයේ ගුවන් නියමුවෙකුගේ ජීවිත තොරතුරු හෙළි කළ JEMES නම් තවත් දරුවෙකු පිළිබඳවය. එම දරුවා ගමන් කළ ගුවන් යානය අනතුරකට පත්ව මරණය සිදුවූ බව ඔහු කීවේය. මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව දෙමාපියන් ඉතා ශාස්ත්‍රීය අයුරින් පර්‌යේෂණයක් සිදු කළේය. අනතුරුව ඒ පිළිබඳව පර්‌යේෂණ ග්‍රන්ථයක්ද නිකුත් කළේය. බීබීසි ආයතනය ඇතුළු ප්‍රකට ජනමාධ්‍ය අංශ මහින්ද එම දරුවා පිළිබඳව තොරතුරු හෙළි කළේය. එම දරුවා හෙළි කළ පෙරභවයේ ගුවන් නියමුවාගේ නමද JEMES වීමද සුවිශේෂී කරුණක් විය.   


මේ අයුරින් පෙරභව​යේ පුද්ගල නමත් එම තොරතුරු හෙළි කළ දරුවාගේ නමත් එක සමානව ලැබී තිබූ සිදුවීම් අතිශය පුදුම උපදවන කරුණු බවට පත්වී තිබේ. ඇතැම් සාධක අතර එකම නම නොලැබී තිබුණද පෙරභව සහ යළි උපත සිදුවූ දරුවන් දෙදෙනාටම නමේ මුල් අක්ෂරය එක සමානව දක්නට ලැබීමද විශේෂත්වයකි.    

 

 

තිස්ස ජයවර්ධන