
අපේ දරුවන්ට යහපත් හෙට දවසක් උදාකරලීමට සිය ශ්‍රමය, කාලය හා මිල මුදල් කැපකරමින් නිහඬව සේවා සපයන අතළොස්සක් වූ සද්ජනයා තවමත් මේ සමාජයෙහි සිය සේවා සපයමින් සිටිති. එවැනි සුවිශේෂ සේවාවක් ඉටුකරන පොලිස් නිලධාරියෙකු පිළිබඳව තොරතුරු දැනගැනීමට පසුගිය දිනෙක අහම්බෙන් මෙන් අපහට අවස්ථාව සැලසිණ. ඒ කොට්ටාව පොලිසියෙන් සේවාවක් සපයා ගැනීමට යමින් සිටිය දී ලද ආරංචියක් අනුවය. එම සුවිශේෂ පුද්ගලයා නම් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙන රොෂාන් සොයිසායි.
මිතුරෙකුගේ පොලිස් වාර්තාවක් ලබාගැනීමේ කටයුත්තක් සඳහා කොට්ටාව පොලිසියට යාමට පැමිණිය හැකි දැයි මගේ මිතුරෙකු කළ ඉල්ලීම නිසා මම පන්නිපිටියේ සිට ඔහුත් සමග ත්‍රිරෝද රථයක නැගී කොට්ටාව පොලිසිය කරා ගමන් කළෙමි. ඒ යන අතරතුර ත්‍රිරෝද රථ රියදුරු අප සමග පවසා සිටියේ කොට්ටාවේ පොලිසියෙන් ඉක්මනින් අපගේ අවශ්‍යතාව ඉටුකරගත හැකිවනු ඇති බවයි.
එසේ කියන්නේ ඇයි දැයි ඔහුගෙන් විමසා සිටීමේ දී ඔහු පවසා සිටියේ පොලිසියේ සේවාව ලබාගැනීමට තමන් සමග ගිය බොහෝ දෙනෙක් එහිදී ලැබෙන කාර්යක්ෂම සේවාව පිළිබඳව ප්‍රසාද මුඛයෙන් කතා කරන බවය. එසේම ප්‍රදේශයේ පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරුවීමෙන් වළක්වාගැනීමේ සුවිශේෂ වැඩපිළිවෙළක් ද කොට්ටාව පොලීසියෙන් දියත් වෙන බවත් තමා ද දරුවාගේ පාසලේදී ස්ථානාධිපතිතුමාගේ දෙසුමකට සහභාගිවූ බවත් එම රියැදුරු වැඩිදුරටත් අප හා පැවසීය.
ඒ කරුණු ද සිතේ තබාගෙන අප පොලිසියට ගමන් කළ පසු අප දුටුවේ මල් සිටුවා අලංකරණය කළ මනසට ප්‍රිය උපදවන ස්ථානයක් බවට පත්කර ඇති මනරම් පරිශ්‍රයකි. කෘත්‍රිම බවකින් තොර ස්වාභාවික පෙනුමක් එයින් දිස් වූ අතර වැඩි වියදමකින් තොරව එම කටයුතු සිදුකර ඇති බවද පෙනිණ.
අනතුරුව පොලිසියට පිවිස පිළිවෙළකට තබා ඇති පුටු පේළියේ අසුන්ගෙන සුළු වේලාවක් ගතවන විටම නිලධාරියකු කාරුණික ලෙස විමසා සිටියේ සිදුකර ගත යුතු සේවාව කුමක්ද යන්නයි. ඒ අනුව මිතුරා සිය අවශ්‍යතාව පවසා ඊට අවශ්‍ය කටයුතු සිදුකරගත යුතු ස්ථානය වෙත ගමන් කළ අතර මම පොලිසියේ වටපිටාව නිරීක්ෂණය කළෙමි.
පැරණි ගොඩනැගිල්ලක් වුවත් සිත්ඇදගන්නා ලෙස වර්ණගන්වා නිසි ලෙස සියලු දේ ස්ථාන ගත කර තිබූ අතර එහි ආකර්ෂණයක් නිරීක්ෂණය විණි. එස් 5 ක්‍රමවේදය අනුව මෙම ස්ථානය ක්‍රියාත්මකවෙමින් පවතින බව පැහැදිලි විය. එසේම පොලිසියේ විවිධ පැතිකඩ නිරූපණය වන ඡායාරූප එකතුවක් බිත්තිවල එල්ලා තිබුණි.
මේ වෙනස ගැන යමක් විමසිය යුතු යැයි සිතුණු නිසා මා අසලින් ගමන්ගත් නිලධාරියකුගෙන් ඒ ගැන විමසා සිටියද ඔහු සිනහවකින් පමණක් සංග්‍රහ කොට නිහඬ විය. තොරතුරු දැන ගැනීමේ දැඩි කැමැත්ත නිසාම මා සිටි ස්ථානයෙන් දකුණුපසට ගමන්කරන විට ස්ථානාධිපති ලෙස සඳහන් පුවරුව දුටුවෙමි. ස්ථානාධිපතිවරයා යම් කාර්යක නිරතව සිටියේය. එසේම ස්ථානාධිපතිවරයාගේ දොරටුව වම්පස “ඔබගේ පැමිණිලි යෝජනා” යනුවෙන් සඳහන් පෙට්ටියක් ද එල්ලා ඇත.
කාර්යාල දොරටුව ඉදිරිපස මා සිටිනු දුටු ස්ථානාධිපතිවරයා ඇතුළට එන ලෙසට මාහට සන් කළෙන් එහි පිවිසියෙමි. ඔහු සුහදශීලිව මා හට අසුන්ගන්නා ලෙස පැවසීය. අනතුරුව මා මේ පොලිසියේ පිවිසුමේ සිට දුටු වෙනස හා නිලධාරීන් සුහදශීලිව කටයුතු කරන අයුරු පොලිසියක දී දුටු සුවිශේෂ වෙනසක් බව ඔහු හා පැවසීමි. මේ වෙනස පිළිබඳව කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති රොෂාන් සොයිසා මෙසේ පැවසීය.

“ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය කාර්යාලයට පමණක් සීමා නොකොට ඉන් ඔබ්බට ගොස් කටයුතු කරන්නයි මම උත්සාහ කරන්නෙ. මෙතැනට එන හැම කෙනාටම හොඳින් කතාබහ කරලා ඔවුන්ගේ ගැටලුවලට සවන්දීලා ඊට අවශ්‍ය විසඳුම් ලබාදෙන්න මම නිතර උත්සාහ කරනවා වගේම මගේ නිලධාරීන් ඒ වෙනුවෙන් පෙළගස්වා තිබෙනවා. ඒක ආයාසයෙන් කරන දෙයක් නොව සාමාන්‍ය ජීවිතේ දෙයක් බවට පත්විය යුතුයි. ඒ තුළ තමයි ඔබ දකින වෙනස් පොලිසියක් මෙතන පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නෙ. ඒ වගේම මේ කාර්ය තනි ගමනක් නොව කණ්ඩායමක සාමූහිකත්වයේ ප්‍රතිඵලයක්. මම නායකයා පමණයි. මේ සඳහා උසස් පොලිස් නිලධාරීන්ගේ ලැබෙන සහාය සහ මගපෙන්වීමත් සිහිපත් කරන්න ඕනෑ.
මෙතන මගේ පුටුවේ සුරක්ෂිත බව ආරක්ෂා කරගැනීමට වඩා සෙසු නිලධාරීන්ගේ සුවපහසුව ලබාදෙන්න තමයි මම හැම විටම උත්සුක වෙන්නෙ. පිඟන් හෝදන තරමට බිඳෙනවා නම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. පිඟන් හෝදන තරමට ඒවා ආරක්ෂා කරගන්නවා නම් තමයි එහි අරුතක් තිබෙන්නෙ. මෙවැනි සුළු කාරණා උපමා කරගෙන තමයි මම මගේ නිලධාරීන් මෙහෙයවන්නෙ.
මගේ සේවා කාලය වසර 28ක්. ඉන් වැඩි කාලයක් කොළඹ පොලිස් ස්ථානවලයි සේවය කළේ. ඒ හැම තැනකදීම ලත් අත්දැකීම් කොට්ටාව පොලිසිය ජනතා ප්‍රසාදයට පත් පොලිස් ස්ථානයක් බවට පත්කිරීම සඳහා මම යොදාගෙන තිබෙනවා.”
පාසල් සිසු දරුවන් මත්ද්‍රව්‍යවලින් හා හිංසනයෙන් ගලවාගන්නට ඔහු ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව ද මෙහිදී මම විමසීමක් කළෙමි.
“මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් කොළඹ ප්‍රමුඛ පාසල් දෙකක අධ්‍යාපනය ලබනවා. ඇත්තටම මම මේ දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ අරඹන්න තීරණය කළේ මගේ දරුවන්ට දෙන රැකවරණය, දැනුවත්භාවය සහ ආරක්ෂාව මේ කොට්ටාවේ වෙසෙන සෙසු දරු දැරියන් වෙත ලබාදීම අරමුණු කරගනිමිනුයි.
ඒ අනුව කොට්ටාව පොලිස් වසමේ බොහෝ පාසල්වල 8 සිට උසස් පෙළ දක්වා ශ්‍රේණිවල දරුවන් හා දෙමාපියන් දැනුවත්කිරීමේ වැඩපිළිවෙළක් මා විසින් ආරම්භ කොට තිබෙනවා. මෙහිදී පාසල්වල විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ අගය කිරීම ඉහළ මට්ටමක තිබෙනවා. පාසල්වල මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්ගේ, මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන්ගේ සහ අනාරක්ෂිත ස්ථානවල හැදෙන වැඩෙන දරුවනුත් යම් ප්‍රමාණයක් මේ පාසල්වල අධ්‍යාපනය ලබනවා. අපි මේ දරුවන් එතැනට අනාගතයේ දවසක පත්වෙන්න නොදී රැකගත යුතුමයි.

පිලී ගඳ මුසු ජලය සහිත මඩ ගොහොරුවක තමයි නෙළුම් මල් පිපෙන්නෙ. මඩ ගොහොරුවෙන් ඉහළට එසවෙන නෙළුම් මල මඩේ නොගෑවී ලස්සන මලක් ලෙස පිපී ලෝකයටම සුවඳ බෙදනවා. නෙළුම් මල පරවුණත් මඩේ ගෑවෙන්නේ නෑ. මේ ස්වාභාවික සංසිද්ධිය මම මගේ වැඩමුළු හරහා දරුවන්ට ලබාදෙනවා. අපි ඉපදෙන ස්ථානය කාටවත් තීරණය කරන්න, වළක්වන්න පුළුවන් දෙයක් නොවෙයි. නමුත් අපි ජීවත් වෙන විදිහ තමයි මෙතැනදි වැදගත් වෙන්නෙ. අපේ උපත හැමෝම සතුටු වෙන අවස්ථාවක් වුවත් අපේ මරණය හැමෝම සතුටු වෙන දවසක් ලෙස කිසිසේත් විය යුතු නැහැ. අපි සමාජයට හිතකර ලෙස ජීවත්ව සිටියා නම් මියයන දිනය හැමෝම දුක්වෙන දිනයක් බවට පත්වෙනවා.
‘බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ඕනෑම අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ උපතින් නොව ඔහුගේ ක්‍රියාවෙන් බව’. මේ කාරණය ගැන සිසු දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ ආකල්ප වර්ධනයක් මේ වනවිට සිදුකරමින් සිටිනවා.
මම මේ කටයුත්ත මුලින්ම ඇරඹුවේ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් වන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්. එතැනදි විදුහලේ විදුහල්පතිනිය හා ආචාර්ය මණ්ඩලය මෙවැනි දෙසුමක් පැවැත්වීම ගැන ඉතාමත් ප්‍රසාදමුඛයෙන් අගය කළ අතර පාසලේ සෙසු දරුවන් උදෙසාත් පවත්වන ලෙස ඉල්ලීමක් කළා.
මෙම වැඩසටහන දරුවන් පමණක් නොව දෙමාපියන් උදෙසාත් පවත්වනවා. එතැනදි මම මේ වැඩසටහනේ අඩුපාඩු පිළිබඳව හෝ වැඩසටහන ගැන දැනුණ හැඟීම් ගැන ඔවුන්ගේ අදහස සටහන් කරන ලෙස කොළයක් හා පෑනක් ලබාදෙනවා. මම වෘත්තීය දේශකවරයෙක් නෙවෙයි. පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනවිට ඇතිවුණ සිතුවිල්ලක් මත මගෙන් විය යුතු සමාජ සද්කාර්යක් ලෙස තමයි මම මේ වැඩසටහන ඇරඹුවේ.
මා ඉපදුණේ මාදු ගඟට හා මුහුදට මැදිවූ දකුණු පළාතේ බළපිටිය කියන සොඳුරු පුරවරයකයි. එහිදී අධ්‍යාපනය ලැබුවේ බළපිටිය රේවත විදුහලෙන්. අනතුරුව උපාධිය හදාරලා, ලෝකයේ රටවල් කිහිපයකට ගිහින් ලද ලත්දැකීම්නුත් මම මේ දේශන සඳහා භාවිත කරනවා. ඒ වගේම මම මත්පැන් හා දුම් පානයෙන් තොරයි වගේම මාංස අනුභවයෙනුත් තොරයි. සෑම පසළොස්වක පොහොයකටම උම්බලකඩවලින් පවා තොර ආහාරවේලක් තමයි ගන්නෙ. අපි සොබාදහමට අවනත විය යුතුයි. මම විශ්වය දැඩිව විශ්වාස කරන්නෙක්. විශ්වයට නිරාවරණය නොවී අපි කිසිවෙකුටත් ජීවත්වෙන්න බැහැ. සංඛ්‍යාලේඛන අනුව දරුවන්ට සිදුවන අගතිදායි තත්ත්වයන්ගෙන් ඔවුන් ගලවාගන්න පොලිස් නිලධාරියෙක් ලෙස කළ හැකි, සියලු දෙනා අත්පොළසන් දෙන කාර්යයක තමයි මම නිරතව සිටින්නෙ. මගේ අපේක්ෂාව අත්පොළසන් නොව දරුවන් වෙනුවෙන් සුරක්ෂිත සමාජයක් බිහිකිරීමයි. ඒක මම ඉපදුන රටට කළ යුතු යුතුකමක් ලෙසයි මම දකින්නෙ.

අපරාධකරුවන් හා ගැටෙමින් ඒ පිළිබඳව පමණක් අවධානය යොමුකිරීම ඉක්මවා ගිහින් අපරාධකරුවෝ බිහිවෙන්නේ ඇයි, එය අනාගතයට බලපාන්නේ කොහොමද සහ අපරාධකරුවෙකු බිහිවීම වළක්වාගන්නේ කොහොමද කියන කාරණාවලට විසඳුම් සෙවීම සඳහා තමයි මම ආරම්භක පියසටහන තැබුවේ. මගේ ඒ උත්සාහය අද යම් ආකාරයකට සාර්ථකවෙලා තිබෙනවා. දරුවන් ආදරයෙන් ඒ වැඩසටහන වැලඳගෙන තිබෙනවා. ඒ වගේම දෙමාපියන් ඔහුන්ගේ අදහස් දැක්වීමේදී සටහන් කර තිබෙන්නේ “මේ දේශනය හරි වැදගත්”, “ මේ වගේ දේශනයක් අහලා හැදෙන්න බැරි නම් ඒක ඒ දරුවාගේ විශාල පවක්” ආදී වශයෙනුයි.
මගේ වැඩසටහන ගැන දෙමාපියන්ගෙන් එවැනි අදහස් මතුවීම මහත් තෘප්තියක් සහ අභිමානයක්. ඒ වගේම මේ කටයුත්ත දිගටම පවත්වාගෙන යන්න ලොකු උත්තේජනයක් ඉන් ලැබෙනවා. අනාගතයේ විශ්‍රාම යන දිනයක මේ දරුවන් අපරාධකරුවන් වීමෙන් වළක්වාගනිමින් සමාජයට සේවයක් කළා කියලා සතුටුවිය හැකි නම් එය රාජකාරි දිවිය පිළිබඳව ලබන ඉහළම තෘප්තියක්.
විශේෂයෙන් මගේ දරුවන් දෙදෙනා ගැන සොයාබලන්න තිබෙන කාලය කැපකරගෙන, රැකියාවේ තිබෙන අධික කාර්යබහුල බවත් මැඩගෙන මේ සත්කාර්යයට අතගැහුවේ මගේ දරුවන් දෙදෙනා හා සමානව සෙසු දරුවන්ටත් රටේ අනාගතය උරුමයි කියන තැන සිටිමිනුයි.
මම මෙතනදි දෙමාපියන්ගෙන් පොඩි ඉල්ලීමකුත් කරනවා. ඔබේ දරුවන් තනිවම උපන්දින සාද, සංගීත සංදර්ශන, මංගල සාද, අවමංගල්‍ය අවස්ථා සඳහා කිසිසේත් යවන්න එපා. ජංගම දුරකථන සඳහා යොමුකරවන්න එපා. ඒ වගේම දරුවන්ගෙනුත් ඉල්ලන්නෙ ඔබට අධ්‍යාපනය කටයුතු සාර්ථක කරගන්න උපරිම උත්සාහ දරන්න. ඔබට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න බෑම කියා සිතෙනවා නම් මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට යොමුවීමෙන් වැළකෙන්න. එසේම යහපත් ආකල්පමය වර්ධනයක් ඇතිකරගන්න. හැමෝටම වෛද්‍යවරු, ඉංජිනේරුවරු වෙන්න බෑ. නමුත් හැමෝටම යහපත් ආකල්ප සහිත පුරවැසියන් බවට පත්විය හැකියි.
මේ වෙද්දි රටේ වඩු කාර්මිකයෝ, ජලනල කාර්මිකයෝ, මේසන් බාස්වරු සඳහා ඇබෑර්තු රැසක් තිබුණත් පුද්ගලයෝ නෑ. ඒ ක්ෂේත්‍රවල නිරත බහුතරය රටහැර ගිහින්. අද අම්මලා පළමු ශ්‍රේණියට දරුවා ඇතුළත් කරන්නේ කොහොම හරි රට අරිනවා කියන මානසිකත්වයෙන්. දරුවා හැදෙන්නෙත් ඒ මානසිකත්වයෙන් මිස රටට ආදරය කරන දරුවෙක් ලෙස නෙවෙයි. රටේ පැවති යුද්ධය ජයග්‍රහණය කරන්න රණවිරුවෝ පෙළගැසුණත් අද එවැනි තත්ත්වයක් ඇතිවුණොත් අපට රණවිරුවො විදිහට ඉදිරියට එන්න ජාත්‍යාලය සහිත පිරිස් කෝ? මේ නිසා මම මගේ වැඩසටහන තුළ ජාතික අභිමානය ගැන කියවෙන කවි සහ ගීත කිහිපයකුත් යොදාගන්නවා. මේ නිසා අද ඉන්න දරුවා අනාගතයේ රට භාරගන්න තරුණයෙකු වනදාට මේ තත්ත්වය වෙනස් කරගන්න කෝණය වෙනස් කර මගේ රට අලුත් මානයට රැගෙනයාම තමයි මගේ අරමුණ ”
සමාජයේ වැඩි වශයෙන් දෝෂාරෝපණයට ලක්වෙන ආයතනයක් වන පොලිසියෙහි සමාජ සද්කාර්ය පෙරදැරිව සේවය කරන නිලධාරීන්ද සිටීම අගය කළ යුත්තකි. සැබවින්ම අපේ රටේ දරුවන්ගේ මනස ශ්‍රී ලාංකිකයෙකුගේ සැබෑ අභිමන් ගමනක කොටස්කරුවෙකු වීමට වෙර දරන මෙවන් නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසිය සතු සැබෑ වත්කම් බවද පැවසිය යුතුමය. අව්‍යාජව සිය සේවාව සිදුකරන මෙවැනි නිලධාරීන් තව තවත් බිහිකර ඔවුන් රැකගැනීමට අවැසි සහාය ලබාදීමට බලධාරීන්ගේද අවධානය යොමුවිය යුතුය.
නිරෝෂාන් ප්‍රේමරත්න
ඡායාරූප. ජයමාල් චන්ද්‍රසිරි

