“මුලින්ම පුහුල් දෝසි කිලෝ 25 ක් හදලා කඩවල්වලට දාන්න අරන් ගියා. එදා අරන් ගිය කඩ කිහිපයකින්ම කඩ හිමියෝ බඩු බලන්නෙවත් නැතුවම එපා කිව්වා. එදා එපා කිව්ව පුහුල් දෝසිවලට අද වෙෙළඳසල් හිමියන් සහ පාරිභෝගිකයන්ගෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා....”
“එක තැනකදි මම ජීවිතේ අන්තිම බිංදුවට වැටුණා. පුහුල් දෝසි ටික විකුණ ගන්න බැරුව කඩහිමියන් පස්සෙන් යන්න වුණා. කඩවල්වලින් සල්ලි නොදී හිටියා. මම සල්ලි එකතු කරපු කැටයක් කඩලා ඒකෙ තිබ්බ රු. 3000 කින් මම ආයෙම ව්‍යාපාරය පටන් ගත්තා.”
ජීවිතය කියන්නේ වැටි වැටි නැගිටින සහ කලින් කලට වෙනස් වන ප්‍රපංචයක්. ඇතැම්හු ජීවිතය දෛවයට භාර දී ඔහේ බලා සිටිති. එහෙත් දෛවයට අනාගතය තීන්දු කරන්නට ඉඩ දී නොසිට උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන්, හා කැපවෙමින් ජීවිත ජයග්‍රාහී කඩඉම් කරා යාත්‍රා කරවූ මිනිස්සු ද කොතෙකුත් සිටිති.
මේ එවන් එක් මිනිසෙකි. බොහෝ දුෂ්කරතා මැද ජීවන ඔරුව පුහුල් දෝසි වලින් තනා ගනිමින් විජයග්‍රාහී ඉමක් කරා ජීවිතය යාත්‍රා කරවූ ඔහු - 51 හැවිදිරි කේ.ඒ. ප්‍රේම ජයන්ත ය. පොළොන්නරුව, මැදිරිගිරිය ඔහුගේ නිජබිම ය.
කෙනෙකු දුප්පත් ලෙස ඉපදීම ඔහුගේ ප්‍රශ්නයක් නොවේ. නමුත් ඔහු දුප්පත් තත්ත්වයෙන්ම සිට මිය යාම ඔහුගේ ප්‍රශ්නයක් බවට පොදු කියමනක් අප අසා ඇත. එම කියමන හොඳින් අවබෝධ කරගත් ජයන්ත පැවති අගහිඟකම් පිරුණු ජීවිතය අනුක්‍රමයෙන් අංශක එකසිය අසූවකින් කරකවනු ලැබුවේය. අද ඔහු ලංකාවේ නම ගිය ව්‍යාපාරිකයෙකි.
ආර්ථික දුෂ්කරතා නිසාම පැසල් අධ්‍යාපනය අනපේක්ෂිත ලෙස අතරමග දී අත්හැරීමට සිදුවන ලදුව, ඇඟලුම් කම්හලක සේවයට ගොස් - එහිදී ව්‍යවසායකයෙකු වීමේ නොතිත් ආශාවකින් වෙළුණු ඔහු මෙසේ කීවේය.
“මම හිතුවෙම, නිතරම මම මගෙන්ම ඇහුවෙම ‘ඇයි මම අනුන් යටතේ වැඩ කර කර ඉන්නේ’ කියලා. ඒක හැම වෙලාවෙම මගෙ ඔළුවේ තිබුණා. මම හිතුවෙම ඇයි මට බැරි මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න කියන දේ.”
අභියෝගයන්ට අභියෝග කරමින් ජයන්ත ඇඟලුම් රුකියාවෙන් ඉවත්ව තම හීනයට පණ පොවන්නට ආරම්භය ගෙන ඇත්තේ - රු. 5000.00ක් වැනි සුළු මුදලක් අතැතිවය. ඒ ද හිතවතෙකුගෙන් අතමාරුවට ඉල්ලා ගැනුණකි. කුඩා කාලයේ සිටම සිය වැඩිමහල් සොයුරා කුඩාවට සිදු කරගෙන ගිය පුහුල් දෝසි ව්‍යාපාරය අපගේ කතා නායකයාගේ ද සිත් ගෙන තිබුණි. එහෙයින් අයියා ගෙන් පුහුල් දෝසි සාදන ආකාරය හොඳින් ඉගෙන ගෙන තමගේම නිෂ්පාදනයක් ආරම්භ කිරීමට ජයන්ත මුල පුරා ඇත.
“මට තිබ්බේ ෆුට් සයිකලයක්. ඒ දවස්වල පුහුල් හොයා ගන්න එක හරි අමාරුයි. මාර්කට් එකෙන් අරන් දෝසි හැදුවොත් ලාබයක් ගන්න බෑ. ඒ හින්දා මම සයිකලෙන් පුහුල් තියනව කියලා ආරංචි වෙන ගෙවල් වලට කිලෝමීටර් ගානක් යන්න ඇති. අව්වේ කර වෙවී, වැස්සට තෙමි තෙමී, බඩට කෑමක්වත් නැතුව තමයි ඒ දවස්වල පුහුල් ගෙඩි හොයන්න ගියේ. කිලෝ මීටර් 30-40ක් දවසකට බයික් එක පාගනවා. සෑම දිනකම අඩුම තරමින් කිලෝ මීටර් 20-30ක දුරක් නම් යැවෙනවමයි.”
කෙසේ වෙතත් හා හා පුරා කියා පුහුල් දෝසි කිලෝ 25ක් නිෂ්පාදනය කරගත් ජයන්ත, අලෙවිය නම් හදන තරම් ලෙහෙසි දෙයක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරගත්තේය. ඔහුගේ පුහුල් දෝසි ගැනීම කඩ හිමියෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රස්තුතය විය.
“මම පුහුල් දෝසි කිලෝ 25යි ඉස්සෙල්ලාම හැදුවේ. ඒවා පෙට්ටිවල දාගෙන සයිකලේ පිටි පස්සේ බැඳ ගෙන අරගෙන ගියා. කලින් දවසේ කඩවල් කීපයකට මම ගිහින් අහද්දී කඩවල් දෙකකින් විතරක් බඩු ගන්න කැමති වුණා. ඊළඟ දවසේ අරන් ගියාම කඩ හිමියෝ නිකමට බඩු බලන්නෙවත් නැතුවම එපා කිව්වා. පුහුල් දෝසි ටික විකුණගෙනම යනවා කියලා හිතලා මම ඒ ටික බස් එකේ දාගෙන කදුරුවෙල ටවුන් එකටයි හිඟුරක්ගොඩ ටවුන් එකටයි ගියා. ඒත් පොඩි ප්‍රමාණයක් කඩවල් දෙකකට වගේ දාගන්න පුළුවන් වුණේ. ඉතුරුටික ගෙදර ගෙනාවා. එදා ගොඩක් අසරණ වුණා.”
දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන ජයන්ත ඇරඹූ පුහුල් දෝසි ව්‍යාපාරය උපන්ගෙයිම මියෙන ලකුණු පළ කෙරුණි. මහපරිමාණ ව්‍යාපාරිකයන් වැඩි වට්ටම් ලබාදී කඩ හිමියන් සිය ග්‍රහණයට හසුකර ගෙන ඇති හෙයින්, සිය පුහුල් දෝසි නොගන්නේ යැයි කල්පනා කළේය. ගත් ස්වල්පය වුව කඩහිමියන් ලබා ගෙන තිබුණේ ඉතා අඩු මුදලකටය. කෙසේ වෙතත් ජයන්ත ලේසියෙන් පසුබසින අයෙක් නොවේ.
“කොහොම නමුත් මොන දේ වුණත් මම මේක අත්හරින්න හිතුවෙම නෑ. ගෙදර අය පවා කිව්වා අතාරින්න ඕක හරියන් නෑ කියලා. ඒ වුණාට ව්‍යාපාරය කොහොම හරි ඉස්සරහට අරං යනවා කියලා හිතට ගත්තා. ජීවිතේ මම වැටිලා ආයේ නැගිටපු මනුස්සයෙක්. අන්තිම බිංදුවට වැටුණා. පුහුල් දෝසි ටික විකුණ ගන්න බැරුව කඩහිමියන් පස්සෙන් යන්න වුණා. මට අවශ්‍ය වුණා මේ නිෂ්පාදනය ලංකාවටම යවන්න. මගේම දෙයක් විදිහට. පස්සේ කඩවල්වලින් සල්ලි නොදී හිටියා. ඒ දවසක මම සල්ලි එකතු කරපු කැටයක් කඩලා ඒකෙ තිබ්බ රු. 3000 කින් මම නැවත ව්‍යාපාරය පටන් ගත්තා.”
ඕනෑම ව්‍යාපාරයක් ආරම්භයට පෙර ඒ පිළිබඳව හොඳ දැනුමක් තිබිය යතු බව ජයන්තගේ මතයයි. පුහුල් දෝසි සකස් කරන ආකාරය හොඳින් අධ්‍යයනය කර ඕනෑම අභියෝගයකට මුහුණ දෙන අධිෂ්ඨානය ඔහුට තිබී ඇත. තත්පර ගණනකින් වුවද පුහුල් දෝසි පදම වෙනස් වුවහොත් සිදු වන්නේ එම තාච්චියම අපතේ දැමීමටයි. එවැනි ඉතා ඉවසීමෙන් දවසම ගින්දර සමග බැට කමින් මෙම නිෂ්පාදනය සකස් කළ යුතු බව ජයන්ත පැවසීය. එය හිතන තරම් පහසු නොවේ.
“පුහුල් දෝසි හදන්නේ ලොකු තාච්චිවල. කිලෝ 150ක් විතර හැදෙනවා එකකින්. එක පොඩි තත්ත්පර ගාණක් වෙනස් වුණොත් එහෙම ඒ ටික අඩිය අල්ලනවා. නැත්තම් දිය වෙනවා. නැත්තම් කන්න බැරි වෙන තරමට ඝන වෙනවා. එහෙම වුණොත් විකුණගන්න බැරි වෙනවා.”
පුහුල් දෝසි ඉතා රසවත් බොහෝ දෙනෙකු ගේ සිත් ගත් පැණි රස කෑමක් වුවද, ඒවා සැකසීමට මහත් වෙහෙසක් දරන්නට සිදුවන බව ජයන්තගේ කතාව තුළින් පැහැදිලිය. එමෙන්ම කිලෝ 250ක් සැකසීමට පැය 7ක් පමණ ගත වේ. පුහුල් දෝසිවලට අවශ්‍ය සීනි ගැනීම ජයන්තට තවත් අර්බුදයක් වී තිබිණි. ඒ කාලයේ සීනි කිලෝ 50ක මිටියක මිල රු 1500ක් බව ඔහු පැවසීය. මෙම අමුද්‍රව්‍ය සපයා ගැනීමට වෙහෙස වී පසුව ටිකෙන් ටික ජයන්තට වෙළෙඳපොළ අල්ලා ගැනීමත් සමග ව්‍යාපාරය දියුණු කර ගැනීමට හැකි වී ඇත.
ලංකාව තුළ පුහුල් දෝසි ව්‍යාපාරිකයින් ඉතා අල්ප වශයෙන් සිටින අතර ලංකාවේ පුහුල් දෝසි ව්‍යාපාරිකයින් අතර ජයන්තගේ පුහුල් දෝසි ව්‍යාපාරය ඒ තුළ කැපී පෙනෙන්නෙකි. අද වන විට ජයන්ත විශාල පුහුල් දෝසි ව්‍යාපාරිකයෙකි. මේ වන විට ජයන්ත යටතේ සේවකයන් විශාල ප්‍රමාණයක් සේවය කරන අතර, ඔහු පුහුල් දෝසි තොග වශයෙන් සපයයි. එමෙන්ම අද වන විට තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන්ම ජයන්ත තමන් විසින්ම පුහුල් වගාවක්ද කරගෙන යයි. ෆුට් සයිකලෙන් ආරම්භ කළ පුහුල් දෝසි අලෙවිය අද වන විට ලොරි කිහිපයකින් රට පුරාම පුහුල් දෝසි බෙදා හරින තත්ත්වයකට පරිවර්තනය වී තිබේ.
සුළු ප්‍රශ්නයකින් පවා තම ව්‍යාපාරය පමණක් නොව, ජීවිතය පවා අත් හරින මිනිසුන් අතර ජයන්ත ආදර්ශයකි. ජයන්තගේ වචනයෙන්ම කියනවානම් “කට්ට කන්න, දරාගන්න පුළුවන් නම් - ඕනම බිස්නස් එකක් සාර්ථක කරගන්න පුළුවන්. අත් හැරියොත් බෑ. භාගයක් දුර ගිහින් මිනිස්සු වැටුණ ගමන් අත් හරිනවනේ. එහෙම කරලා ව්‍යාපාරයක් සාර්ථක කරගන්න බැහැ.”
මෙතරම් අමාරු දුෂ්කර පාරක් තෝරා ගත්තේ ඇයි යන පැනයට ජයන්තගේ පිළිතුර වූයේ, “හිතේ ස්ථිර අරමුණක් ඇත්නම් ඒ වෙනුවෙන් අධිෂ්ඨානය කැප කිරීම් කරන්නට ශක්තිය ඇත්නම් මිනිස්සුන්ට මොනවද කරන්න බැරි” යන්නයි. ඔහුගේ මේ ගමන පිටුපස තම බිරිඳ දරුවන් ගේ උදව් උපකාර තිබෙන බව කීමට ඔහු අමතක කළේ නැත. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් වන්නට ඔහුගේ නිහතමානී බව හේතුවක් වන්නට ඇති බව කතා බහේ අවසානයේ ඔහු කියූ දෙයින් ගම්‍යමාන විය.
“මගේ ව්‍යාපාරේ කොච්චර ලොකුවට තිබ්බත්, සේවකයො හිටියත්, අදටත් මම ඒ අය එක්ක පුහුල් දෝසි හදනවා. දැන් මේ යන්නේ 10 වැනි අවුරුද්ද. මේ වෙනුවෙන් සෑහෙන දුෂ්කරතාවලට මම මුහුණ දුන්නා. මගේ සේවකයන්ට නිෂ්පාදනය, අලෙවිය ඇතුළු හැම දෙයක්ම මම කිසි දෙයක් හංගන්නේ නැතුව හරියට කියලා දෙනවා. ඇත්තම කියනවනම් මම නැතත් මේක කරගෙන යන්න මම ඉදිරි පරම්පරාවකුත් හදලා තියෙනවා.”
සුදර්ශනි කෝණාර