නයගරාවේ රුයක්


සුන්දර නයගරා නිම්නය
 
ශීතාධික කැනේඩියානු දේශයට ගිම්හානය යනු වසන්තයක් ම ය. අව් රශ්මිය හොඳින් පතිතවීම ඊට හේතුවය. ජූනි, ජූලි සහ අගෝස්තුව කැනඩාවට දහවල වඩා දිගු වූවකි. මධ්‍යම රාත්‍රිය ආසන්නය දක්වා පවතින්නේ එළිය මිස අඳුර නොවේ. මෙකී සමය සැණකෙළි සිරි ගනී. ගිනි අව්ව සිතුසේ විඳ ගැනීමට කැනේඩියානුවන් මෙන්ම එරට වෙසෙන බහුවිද සංක්‍රමණිකයෝ රිසි වෙති. ලෝප්‍රකට නයගරා දිය ඇල්ලේ සැබෑ සුන්දරත්වය දැකගැනීම වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල සංචාරකයින් වැඩි පිරිසක් පැමිණෙන්නේද මෙකී කාලයේදීය. 
 
කැනේඩියානු දිනය සැමරෙන්නේද ජූලියේය. සැණකෙළි අසිරියෙන් මහා කැනඩා දේශයම සිරිගැන්වීමට එයද එක් හේතුවකි. නයගරාව යනු ලෝකයේ වැඩිම පිරිසක් පැමිණෙන සංචාරක ගමනාන්තයකි. කැනඩාවට උතුරන්න සල්ලි ලැබෙන සංචාරක උල්පතක් යැයි සඳහන් කිරීම වඩා උචිතය. වසන්තයක් වූ ගිම්මානයේ අප ඔබ කැඳවාගෙන යන්නේ ඒ සුන්දර නයගරා නිම්නය වෙතයි. මේ සැරිසැරීම අපට මෙන්ම ඔබටද සුන්දර මතකයන් රැසක සැමරුවක් වේවි.
  • බැලු බැලීමට නයගරා
සොබාදහම සතු ස්වභාවධර්මය මිහිපිට මැවූ, පරිසරයට දායාද කළ විශ්මිත දියඇලි පොකුරක් ලෙස නයගරාව සඳහන් කළ හැකිය. කැනඩා දේශසීමාව ඔස්සේ එක් දිය ඇල්ලක්, එනම් සොඳුරුතම නයගරා ඇල්ල ගලා බසින අතර, අනෙක් සුන්දර ඇල්ල ගලා බසින්නේ ඇමරිකානු දේශසීමාවේ සිටය. ඒ මැවීම සැබැවින්ම අපූර්වත්වයක් ගෙන දෙන්නේ මහා රටවල් දෙකක දේශසීමා වෙන්කර ඇති භූමි දර්ශනය නිසාමය. 
 
සංචාරකයින් වැඩි රුචිකත්වයක් දක්වන්නේ කැනඩා ඉවුරේ සිට මේ ඇලි දැක බලාගැනීමටය. එය කදිම දසුනකි. නයගරා නදිය ඔස්සේ ගලා බසින ප්‍රධාන ඇල්ල - ඇලි ත්‍රිත්වයකින් සමන්විතය. උඩ සිට  බලන විට එය දර්ශනය වන්නේ අශ්ව ලාඩමක් මෙනි. එනිසා එය නම් කර ඇත්තේ Horse Shoe Falls යන නාමයෙනි. මේ දෙරට වෙනුවෙන් ජල විදුලි නිෂ්පාදනය සඳහා 90%ක බලයක් ලබාදෙන්නේ මෙම Horseshoe ඇල්ලයි. 
කැනඩා හා ඇමෙරිකානු ඉවුරු දෑලේ ඇදෙන සංචාරක යාත්‍රා
 
ඇමරිකානු ඇල්ල සහ මනාලියකගේ වේලය මෙන් දර්ශනය වන Bridal Veil Falls අනෙකුත් සියයට 10 විදුලි උත්පාදනය සඳහා ගලා යයි. Horseshoe (අශ්ව ලාඩම) දර්ශනය වන්නේ “U” අකුරේ හැඩයටය. සංකේතාත්මකව එය වාසනාව ගෙන දෙන සලකුණකැයි සැළකේ. ඒ අනුව U හැඩය ගත් නයගරා යනු කැනඩාවට මෙන්ම ඇමරිකාවට වාසනාව ගෙන දුන් අපූරු දායාදයකි. ඒ වාසනාව ගෙනදී ඇත්තේ විදුලි ආලෝකයෙන් දෙරට ආලෝකවත් කරවීමට මෙන්ම සංචාරක කර්මාන්තය හරහාය. 
  • කැනඩාවේ සිට නයගරා නැරඹීමට යනවා නම්
නයගරා අයත්වන්නේ කැනඩාවේ ඔන්ටාරියෝ පළාතටය. කැනඩාවේ පරිපාලනමය අග නගර වන ඔටාවා අයත් වන්නේද මෙම ඔන්ටාරියෝ පළාතට වුවද, ඔන්ටාරියෝහි මෙන්ම කැනඩාවේ ජනප්‍රියම වාණිජ නගරය වන ටොරොන්ටෝ අයත් වන්නේද මෙම පළාතටය. නයගරා වෙත යන ගමන ටොරොන්ටෝවේ සිට පටන් ගතහොත්, තමුන්ගේම රථයක යන්නේ නම් ඇති දුර කිලෝමීටර 133කි. 
එරට ඇති මාර්ග පහසුකම් නිසා ඒ ගමන පැය එකහමාරකට අඩු කාලයකින් යා හැකිය. බස් රථයකින් ගමන් ගන්නේ නම් පැය එකහමාරක්, දෙකක් අතර කාලයක් ගතවේ. එකී සියලු බස් රථ වර්ගීකරණය අනුව, එක් අයකුහට අය කරන මුදල වෙනස් වේ. බස් රථ ගමන් ගන්නා කාලසටහන අනුවත් ප්‍රවේශපත්‍ර මිල වෙනස් වේ. මෙකී සමයේ දී අවම මුදල රුපියල් 3875ක් වන අතර, වැඩිම මුදල 13425ක් වේ. වැඩිම මුදලක් අයකරනු ලබන්නේ ටොරාන්ටෝවෙන් රාත්‍රී 10ට ගමන් ගන්නා බස් රථ සඳහාය. 
 
ටොරොන්ටෝවේ යුනියන් ස්ටේෂන් බස් පර්යන්තයේ සිට මෙම සියලු බස් රථ පිටත්වේ. ගමනාන්තය වන්නේ නයගරා ෆෝල්ස් ටේබල් රෝස් නැවතුම් ස්ථානයයි. දහවල් 2.30ට ටොරොන්ටෝවෙන් ගමන අරඹන බස් රථයක් ගමන් ගන්නේ නම් රුපියල් 5218ක මුදලක් අයකෙරේ. උදෑසන නයගරා නැරඹීමට කැමති සංචාරකයින් තෝරා ගන්නේ 6.30ට ගමනාරම්භ කරන බස් රථයයි. ඉහත සඳහන් කළ මුදල අය කරනු ලබන්නේ මෙගා බස් රථ වර්ගයට අයත් ප්‍රවේශ පත්‍ර සඳහාය. මෙලෙසින් බස් රථවල ගමන් ගන්නේ නම් කල්තියා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ආසන වෙන්කරවා ගැනීම මෙන්ම, එදින නයගරාවේ නතර වන්නේ නම්, කල්තියාම නවාතැන් වෙන්කර ගැනීම ද කළ යුතුය.
  • නයගරා වෙත ගිය හැටි
අප නයගරා වෙත ගමනාරම්භ කළේ ටොරොන්ටෝ කලාපයට අයත් මේපල්හි සිට ය. අප වෙනුවෙන් වාහන පහසුකම් සපයා දුන්නේ, කැනඩාවේ වෙසෙන මංජුල විජේසිංහ සොහොයුරාය. රාත්‍රියේදී නයගරා දැක බලා ගැනීමේ අපගේ කැමැත්ත වූ නිසා ගමනාරම්භ කළේ දිවා භෝජන වේලාවෙන් පසුවය.
 
නගරයේ දර්ශන
 
‘‘මම ඔබව ලස්සන ගම්මානයක් මැදින් එක්කගෙන යන්නම්’’ අද රාත්‍රියේ නයගරාවේ ලස්සන රිසිසේ නරඹන්න’’ ගමනාරම්භ කරමින් රථය පදවන අතරේ, මංජුල අපට කීය. ඔහුට ඔහුගේ රථය ගමාගේම හොඳම මිතුරා තරමට විශ්වාසය. අපට ඕනෑ තරම් කාලවේලාව තිබූ බැවින් නයගරා යන මග නැරඹීමට ඇති තැන්හි සිරි නරඹමින්, විවේක ගනිමින් ගමනාන්තය කරා යමින් සිටියෙමු. එදින රාත්‍රියේ නවාතැන් ගැනීම වෙනුවෙන් අපගේ හිතාදර මිතුරු ‘සුදේශ් මුතු’ නයගරා නගරයේ හෝටලයක කාමර වෙන්කර දී තිබුණේ කල්තියාමය. රාත්‍රිය ගත කිරීම සහ පසුදා උදෑසන ආහාර වේල, එනම් BB ක්‍රමයට එය වෙන් කිරීම කර තිබුණේ, රාත්‍රී ආහාරය සහ අමතර ආහාරපාන නයගරාවේ විවිධ රසැති අවන්හල්වලින් ගැනීමට තිබූ රිසි බව නිසාවෙනි.
 
‘‘නයගරා බලන්න යනවා නම් මේ වගේ මාර්ගයක, මේ වගේ ගම්මාන අතරින් ආවොත් තමයි මේ ලස්සන දර්ශන දැකබලා ගන්න පුළුවන් වෙන්නේ.’’
 
රථය පදවමින් සිටි අතරේ මංජුල අපට කීවේ, මාර්ගය දෙපසදී දැකගත හැකි වූ සොඳුරුතම භූමි දර්ශන පෙන්වමිනි. මිදි වතු යාය පිහිටා ඇත්තේ ඉමක් කොනක් නොපෙනෙන මායිමකට වන්නටය. අපි ඒවායෙන් පාරිසරික දර්ශන සිතු සේ විඳ ගත්තේ, මිදි යුෂ පානය කරන්නට තිබුණේ නම්? කොතරම් හොඳ ද යන සිතිවිලි ඇතිවය. කැනඩාවේ ඉස්තරම්ම වයින් ලෙස හැඳින්වෙන්නේ ඔන්ටාරියෝ වයින්ය. ඒවා සාදන මිදි වතුවලට අමතරව ඇපල් වතු සහ එකිනෙකට වෙනස් භූමි දර්ශන, අලංකාර නිවාස සහිත ස්ථාන, ගොවිපළ ආදී දර්ශන නෙත පුරා සිත් පුරා අපට ගෙන දුන්නේ චමත්කාරය පිරි දසුන්ය. එවැනි දසුන් මීට පෙර යම්තාක් දුරකට දැක තිබුණේ නම් ඒ බටහිර සිනමා නිර්මාණ ඔස්සේ පමණක් ම ය.
  • රාත්‍රියේ නයගරා චමත්කාරය
නයගරාහි රාත්‍රිය ගත කිරීමට පැමිණෙන සංචාරකයන්ට අමතරව, නයගරාහි රාත්‍රී ගත කිරීම වෙනුවෙන් පැමිණෙන විශේෂිත කොටසක් වේ. ඔවුන් මධු සමය හෙවත් හනිමූන් සඳහා එන ජෝඩු ය. ලෝකයේ වෙසෙන පොහොසත් පවුල්වල උදවිය බොහෝ විට එලෙසින් නයගරාහි ඇති හෝටල වසරකට දෙකකට පෙර සිට වෙන්කරවා ගන්නේ මංගල්‍ය උත්සව සහ මධුසමය ගත කිරීම වෙනුවෙන් ම ය. මධුසමය ගත කරන ජෝඩුවලට මෙන්ම මංගල්‍ය උත්සව පවත්වන අයට එය ජීවිතයේ සදාදරණීය සිහිවටනයකට එහා ගිය, අමරණීය මතකයක් වෙයි. මධුසමය ගත කරන්නන් විශ්වාස කරන්නේ ‘නයගරා’ කලාපයේ ගත කිරීම නිසා ඔවුනට වාසනාවන්ත සශ්‍රීක හෙටක් උදාවේ යැයි යන්නය. ඒ හැරත් ඒ මතකයම ඔවුනට ගෙන දෙන්නේ ආදරණීය සැමරුමකි.
 
රාත්‍රී අහසේ අසිරිය විදහාපාන මල් වෙඩි සංදර්ශන
 
ඔබ ලෝකයේ බොහෝ සොඳුරු තැන්හි රාත්‍රීන් ගත කර තිබෙන්නට පුළුවන. එහෙත් නයගරාවේ රාත්‍රියක් ගත කළ හොත් එය ඔබ ජීවිතයේ දුටු චමත්කාරය පිරි සොඳුරු සිහිනයක් මෙන් ජීවිත පුරාවට රැඳී තිබේ. අප නවාතැන් ගෙන සිටි හෝටලය ඉදිරිපිට ඇති ඉන්දියානු අවන්හලකින් රාත්‍රී ආහාරය සප්පායම් වීමු. ඉන්පසුව මංජුල ඔහුගේ රථය පදවාගෙන ගියේ නයගරා නගරය ඔස්සේය. රාත්‍රියට ඒ නගරය දිස්වන්නේ හරියට ඩිස්නිලන්තයක් මෙනි. බෙහෙවින්ම සාමකාමීව රිසිසේ ජීවිතය විඳින නේකවිද සංචාරකයෝ එහිදී දැකගත හැකිය. නයගරා ඇලි නැරඹීමට මුදලක් අය නොකළ ද, අනෙකුත් සියලු දේ වෙනුවෙන් මුදල් අය කිරීම සිදුකෙරේ. මෝටර් රථ නවතා තැබීම වෙනුවෙන් අය කෙරෙන මුදල තරමක් ඉහළය. නයගරා රිසිසේ නැරඹීමට අවකාශය සලස්වා තිබුණ ද, සංචාරකයන්ගෙන් අමතර දේ සඳහා මුදල් අය කර ගැනීම දක්වා අනුගමනය කර ඇති දේ අනුව ඔවුනගේ සංචාරක කර්මාන්තයේ පොහොසත් බව අපට මැනගත හැකිය.
 
වසන්තයක මෙන් වූ ගිම්හාන රාත්‍රිය නයගරාවට නම් වඩා සෞම්‍ය රාත්‍රියකි. දේදුනු පැහැති විවිධ වර්ණයෙන් රාත්‍රිය නයගරා ඇලි ආලෝකවත් කෙරේ. එය නැරඹීමට සංචාරකයකු ජීවිතයේ ලැබූ ඉහළම ආස්වාදයක් වෙයි. මෙවන් සමයක ඔබ එහි සංචාරය කරන්නේ නම් රාත්‍රියේ දී වැහි කබා ඇඳ සිටීම ඉතා යෝග්‍ය වන්නේ, නයගරා නදිය පිස හමා එන සුළඟ නයගරා ඇලි සීත ජල බිඳුවලින් ඔබ නාවන නිසාය. බොහෝ දෙනෙක් ඒ සීතල ජල බිඳු වැස්සේ තෙමෙන්නට මනාප බව අපට දැකගන්නට ලැබුණි. සුළඟේ වේගයට නයගරාවේ මේ ජල බිඳු කිලෝමීටරයක් පමණ දුරකට විසිරී විහිදී යන වග අනුමාන කළ හැකිය. රාත්‍රියේ දී නයගරා කලාපය සැණකෙළි සිරියෙන් පිරී යයි. රාත්‍රියේ දී විශේෂ මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වෙන්නේ, ස්කයිලෝන් ටවර් (Skylon Tower) එපිටින් වන්නටය. ඒ මල් වෙඩි සංදර්ශනය ඉතා අලංකාර දසුන් සදයි. බොහෝ සංචාරකයෝ මධ්‍යම රාත්‍රිය පසුවෙන තෙක් නයගරා උද්‍යාන කලාපයේ ගත කිරීමට රිසි බව කිව හැකිය. පෙර සඳහන් කළ ස්කයිලෝන් ටවර් (Skylon Tower) අඩි 775 උසැතිය. එහි මුදුනත මහල් කීපයකින් සමන්විතය. ආහාරපාන ගැනීමේ අවන්හල, බුෆේ අවන්හල සහ නැරඹුම් මැදිරි ලෙස ඒවා නම් කර ඇති අතර, මිලද ඒ අනුව වෙනස් වේ. Free ride to top with Dining ලෙස මේ දිනවල විශේෂ අවස්ථාවක්ද සංචාරකයන්ට ලබාදී තිබේ.
  • උදෑසන නයගරාව
අමතක නොවන රාත්‍රී දසුන් පෙළක මතක රැගෙන අපි පසුදා උදෑසනම අවදි වීමු.
 
පා ගමනින්ම නයගරා නිම්නයේ ඇවිද ගියේ උදෑසන නයගරාවේ අසිරිය දැකගැනීමටය. රාත්‍රියේදී ඩිස්නිලන්තයක් මෙන් දිස්වූ නයගරා නගරයේ උදෑසන චිත්‍රය හරි වෙනස්ය. මං මාවත්, ගොඩනැගිලි සියල්ල පිළිවෙළකට, කලාත්මක අයුරින් නිමවා ඇත. සංචාරකයන්ට එන්න හිතෙනම තැනක් බවට ඒ කලාපය පිළිවෙළකට සහ ආකර්ශණීය අයුරින් නිර්මාණය කර ඇත. උදෑසන කියා වෙනසක් නොතිබිණි. විවිධ රටවලින් පැමිණ සිටි සංචාරකයන් දැකගත හැකි විණි. 
 
නයගරා නදියේ ජල රටාව ගලාගෙන විත් පහතට ඇදහැළෙන අයුරු වරු ගණනක් වුවද බලා සිටිය හැකිය. ඇමරිකානු ඉවුරු ද කැනේඩියානු ඉවුර ද සංචාරකයන්ගෙන් පිරී ගොසිනි. 
 
ජාති භේද, ආගම් භේද, වර්ණ භේද ලොකු පොඩි භේද කිසිවක් නැත. සංචාරකයෝ සොබාදහමේ මේ සුන්දර නයගරාවේ ලස්සන සිතුවම් ආස්වාදය කරති. නයගරාවෙන් වෙන් වී ඒමට සිතක් කා හටවත් නැති ගාණය.
සටහන/ඡායාරූප:
සඳුන් ගමගේ