
එච්.ආර්. ජෝතිපාලගෙ තිස්අට වෙනි සැමරුම යෙදල තිබුණෙ පහුගිය ජූලි හත්වෙනිදට. මැරිලත් වසරින් වසර අගය වැඩි වෙන, කතාබහ වැඩි වෙන, සැමරුම් වැඩ වෙන, රසිකයින්ට ගැලවෙන්න බැරි කලාකාරයෙක් අපේ රටේ ඉන්නව නම් ඒ තමයි ජෝතිපාල. නම ගිය කලාකාරයො වුණත් මියගිහින් හත්දවසෙ දානෙන් පස්සෙ අමතක වෙන තත්ත්වයක ජෝතිගෙ මේ මැජික් එක මොකද්ද. අපිට තාමත් හරියට රීඩ් කරගන්න බැරිවුණු ප්‍රශ්නය ඒක තමයි.
ජෝතිගෙ ඇනවසරිය දවසෙ සෝෂල් මීඩියා එකෙත් ජෝති ගැන එක එක අය එක එක පන්නයේ අදහස් දක්වල තිබුණා. ඒක ඉතා හොඳ දෙයක්. ඒකෙන් වැඩිහිටි පරම්පරාව වගේම අලුත් ජෙනරේෂන් එක ජෝති ගැන දරන ආකල්ප කොයි වගේ ද කියල දැනගන්න පුළුවන්. අද ඉන්න තරුණ පිරිසටත් ජෝති ගැන සාධනීය අදහස් රාශියක් තියෙනව කියල ඒ දක්වල තිබුණු කාරණාවලින් පෙනුන. ඒ කියන්නෙ ඕනම ජෙනරේෂන් එකකට සෙට් වෙන ගායකය තමයි ජෝති.
සෝෂල් මීඩියා බහුල නැති ඉස්සර කාලෙ මේ වගේ චරිත ගැන එක්තරා කුලකයක අය සමාජයට පටවල තිබුණු සීමිත අදහස්වලට වඩා විවිධ කියවීම්වලට අද තරුණ පිරිස යනව. මේ අලුත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්වල තියෙන සාධනීය පැත්ත ඒකයි. මීට පෙර ජෝති සැමරුම්වලදි වුණේ ජෝතිගෙ හිතවතුන් කියාගන්න අය ජෝතිගෙ ළඟින් හිටිය කියන අය ජෝතිට ආවතේව කෙරුව කියන අය මීඩියාවල බැතිබරව ජෝතිව වන්දනය කරන එක. ඒත් දැන් පරම්පරාව ජෝතිල විවිධ සමාජ දේශපාලන කියවීම්වලට ලක් කරනව. ජෝතිලගෙ කෙරුවාවෙ තිබුණු දෘෂ්ටිවාද ප්‍රශ්න කරනව. නොයෙක් තර්ක විතර්ක වාද විවාද හුවමාරු වෙනව. ඒ ජෝති දැකලවත් නැති පරම්පරාව. ජෝති මැරෙන්න කලින් ඉපදිලාවත් නැති පරම්පරාව. එහෙම තමයි මේ ගැන ඩිස්කෝස් එක දියුණු වෙන්න ඕන.
මේ වෙලාවෙ මීට අවුරුදු දහයකට පහළොවකට උඩදි ජෝති සැමරුම්වලදි වෙච්ච සිද්ධි මතක්වෙලා හිනා යනව මට. ඒ කාලෙ මම හිටපු පත්තරේට ජෝති ගැන කොලම් ගණනාවක් ලිව්ව. බොහෝ විට ඒ ලියපු දේවල් එක්ක ජෝතිගෙ අයිතිකාරයො වගේ පෙනී ඉඳපු සමහරු දරුණු විදියට වාදෙට ආව. එහෙම එක්කෙනෙක් තමයි අපි අතරින් සමුගත් ආනන්ද පද්මසිරි. ආනන්ද ජෝති ළඟින් ඇසුරු කළා කියල තමයි ජෝති ගැන ලිවීමේ අයිතිය පවරගෙන තිබුණේ. මිනිහ කුකුල් කේන්තිකාරය වුණාට මගෙත් මිත්‍රය. අපිට පර්සනල් ආරෝවක් තිබුණේ නෑ. හැබැයි පොර ජෝති වෙනුවෙන් මරාගෙන මැරෙන්න පෙරට පැන්න. විවෘත අදහස්වලට වඩා එයාලට තිබුණේ ජෝති ගැන බැතිබර සිතුවිලි තමයි. ආනන්ද මාත් එක්ක ජෝති ගැන ලිපිවලින් ඇරගත්ත කීප වතාවක්.
ජෝතිපාලගෙ සින්නක්කර අයිතිකාරයො වගේ තව කීප දෙනෙක්ම හිටිය. එයාලගෙන් තොරව ජෝති කිසි දෙයක් කරන්න කියන්න බෑ වගේ එකක් ඒගොල්ලො ස්ථාපිත කරල තිබුණේ. ඒ සමහරු ජෝතිගෙ ඩ්‍රයිවර්ල. සමහරු ජෝතිගෙ අත්උදව්වට හිටපු ආවතේවකාරයො.
එයාල හිතුවෙ මේ අලුතෙන් ආපු හුලිජ්ජ කොල්ලො මොනවද ජෝති ගැන දන්නෙ අපි තරම් කියල. ඒ සමහරු ජෝති සැමරුම් දවස්වලට රූපවාහිනී සාකච්ඡාවලට ඇවිත් ජෝති ඇඳපු ලන්කට් එකේ ඉඳල පුද්ගලික වල්පල් බහුභූත ඇදබෑව මිසක් ජෝති ගැන වෙනස් සරු අදහසක් කිව්වෙ නෑ. එහෙම ජෝති ගැන වෙනස් අදහසක් කියපු අයටත් බැණඅඬගහගෙන අපි එක්ක පැටලුණේ අපි එයාලගෙ ජෝති සුරුවම කිලිටි කරල මහා අපරාධයක් කරපු අපරාධකාරයො විදියට සලකල.
අද වෙනස්වෙලා තියෙන්නෙ මෙන්න මේ තත්ත්වය. එක වතාවක් එල්ෆින්ස්ටන් එකේ තිබුණු ජෝති සැමරුම් ප්‍රසංගයකට ගෙන්නපු විජිත් විජයමුණි සොයිසටත් සිංදුවක් කියන්න සංවිධායක මණ්ඩලය අවස්ථාව දුන්න. එතකොට මිනිහ ආණ්ඩුවෙ ඇමති කෙනෙක්. පොර බැරිමරගාතෙ සිංදුව කිව්ව.
අපිට ජෝති රහට කියපු සිංදු විජිතමුණි සොයිසගෙ කටහඬින් අහන්න ලැබීමේ පව පල දුන්න. ඊට පස්සෙ සුමානෙ මම පත්තරේ ලිව්ව ජෝතිට අත තියන්න නොදී ජෝති වෙනුවෙන් මරාගෙන මැරෙන ආනන්ද පද්මසිරිල විජිතමුණි කියපු ජෝතිපාලගෙ සිංදුව අහගෙන හිටියෙ රෙදිත් ඇඳගෙනද කියල. ඔන්න ඔහොමයි එදා ජෝති සැමරුම්.
ජෝතිගෙ තිස්අටවෙනි සැමරුම දවසෙ මම ෆෙස්බුක් එකේ ලියපු කවි දෙකකින් මේ සටහන හමාර කරනව.
උඹව අනුකරණයට ගියත් කට කොකියා
උඹ නොමැති බව දැනී හිතම යයි කකියා
මධු විතක් ළඟදි අපි නැති නමුත් හැකියා
ඉන්නෙ නෑ කිසි විටෙක උඹෙ සිංදු නොකියා
සිංදුවෙන් සිංදුවට බැඳුණු බව ඇත්තක්
කොම්බුවක පිල්ලමක පවා නැත තිත්තක්
රාජ ලීලය තිබුණු පිරී හැම පැත්තක්
උඹෙ සිංදු කියන්නෙම මාළිගා වත්තක්
- ප්‍රියන්ත කොඩිප්පිලි