ගෝඨාගේ ජනපති ධුරයේ අවසන් දින කිහිපය


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ එවකට පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර හෙළිදරව් කරන කතාව

යම්කිසි සිදුවීමක් හෝ සිදුවීම් ජාලයක් පිළිබඳ සත්‍යය දැනගත හැකි වන්නේ හෝ සත්‍යය ප්‍රකාශ කළ හැකි වන්නේ එකී සියල්ල සියැසින් දුටුවහොත් පමණක්මය. 2022 මාර්තු මාසයේ ඇරඹි විරෝධතා රැල්ලක් හමුවේ උද්ඝෝෂණ හා අරගලකාරී ප්‍රචණ්ඩත්වයකින් රටම වෙළී ගියේය. මාර්තුවේදී ඇරඹි ඒ විරෝධතා රැල්ලේ අතිශය තීරණාත්මක දින හෙවත් උච්චතම අවස්ථාව එළැඹියේ ජූලි 8 වැනිදාය. මෙම අරගලකාරී ප්‍රචණ්ඩත්වය හමුවේ මෙරට 7 වැනි විධායක ජනපති ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන්න යැයි අරගලකරුවෝ බලපෑම් කළෝය. ඒ වනවිට ජනපති මැදුර අවට කලාපය තම අණසකට නතුකරගෙන සිටි විරෝධතාකරුවෝ ජූලි 9 වැනිදා උදෑසන ජනපති මැදුර වටකොට සිටියහ. ඊළඟ නිමේෂය කුමකින් කුමක් වේදැයි, සිදුවන්නට යන්නේ කුමක්දැයි, මුළු රටම වික්ෂිප්තව බලා සිටි මොහොතක් විය. විධායක ජනාධිපතිවරයාගේ අණින්, අරගලකරුවන්හට, විරෝධතාකරුවන් හට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා තත්ත්වය පාලනය කරාවිද? නැතහොත් විරෝධතාකරුවන් ජනපති මන්දිරයට ඇතුළු වී ජනාධිපතිවරයා ඇතුළු පිරිසට කුමන ඉරණමක් අත්කර දෙනු ඇද්ද?

ජුලි 9 වැනිදා උදෑසන 11.32 පමණ වන විට විරෝධතාකරුවෝ ජනපති මැදුරට ඇතුල් වූහ. හිස් ලූ ලූ අත දිවයමින්, ප්‍රචණ්ඩත්වය දියත් කළහ. ජනපති ගෝඨාභයට මොකද වුණේ? ඔහු ඇතුළු ජනපති මැදුරේ සිටි සියලු දෙනා ඔවුන් මරා දමන්නට ඇති. ජනතාව එසේ විශ්වාස කළද, ඒ වනවිට ජනපතිවරයා ඇතුළු පිරිස ඉන් පිටව ගොස් තිබිණි. එසේ නොවන්නට අරගලයේ ප්‍රචණ්ඩකරුවනට ඔහු අසු වූයේ නම් ‘සුනේ සුං’ ය.

ආයේ කෑලිවත් ඉතිරිවන්නට ඉඩ නොතිබිණි. ඔහුගේ වාසනාවට එසේ නොවුණි. එසේ වූයේ නම්? ලාංකීය සමාජයට, ලාංකීය දේශපාලනයට එය අකා මකා දැමිය නොහැකි කළු පැල්ලමක් වනවාට සැක නැත. සර්වජන ඡන්ද බලයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකුහට ඉතිහාසයේ ප්‍රථමවරට එලෙසින් රුදුරු ඉරණමකට මුහුණදීමට සිදුවුණි. මේ සිදුවීම් ජාලය හමුවේ බොහෝ දෙනා කීවේ ඔහු නිවටයකු වී පලා ගිය වගය. ජනතාව එතෙක් විශ්වාස කළ සිංහලයා නොව සිංහ හම පොරවාගත් බියගුලු චරිතයකැයි සමහරු කීහ. එහෙත් සැබැවින්ම සිදුවූයේ කුමක්ද? විරෝධතාකරුවන් විසින් ඔහු පලවාහැරියේද? නැතිනම් ඔහු පලා ගියේද? එහි සත්‍යය දන්නේ එකී සිදුවීම් ජාලය සියැසින් දුටු, ප්‍රායෝගිකව කටයුතු කළ අයෙක් පමණක්මය.

එතැනට පැමිණ සිටි ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, එවකට යුද හමුදාපති වූ ශවේන්ද්‍ර සිල්වා සහ පොලිස්පති ඇතුළු සියලු ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානියාව සිටි ජනරාල් සුරේෂ් සලේ ඇතුළු සියලු දෙනා ප්‍රකාශ කළේ මිරිහාන නිවස අනාරක්ෂිත බවය.

මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා එදා ජනපති මැදුරේ සිටි අවසන් දින දෙකේ සත්‍ය කතාව සහ ජනපති මැදුර ඇතුළත සිදුවූ සිදුවීම් සියල්ලෙහි සැබෑ කතාව ඉරිදා ලංකාදීපය මෙසේ සනිටුහන් කරන්නේ, සුගීෂ්වර බණ්ඩාරගේ සත්‍ය මතක ආවර්ජනයෙනි. ඔහු එවකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයාය. රාජකාරියෙදී ඔහු තම නායකත්වය හා ගහට පොත්ත මෙන් බැඳී සිටි චරිතයක් ම විය. ඉතින් මේ සත්‍යය කතාව හෙළි කිරීමට ඔහු හැර වෙන කවුරුද? තව?..

ගෝඨාභය ජනපතිතුමා ජනපතිවීමෙන් අනතුරුව වාසය කළේ ජනපති මැදුරේ නොවේ. 2022 අප්‍රේල් 1 වැනිදා දක්වා එතුමා සිටියේ නුගේගොඩ, මිරිහාන, පැඟිරිවත්ත පාරේ ඇති එතුමාගේ පෞද්ගලික නිවසේය. එමෙන්ම එතුමා රජයේ වාහන පාවිච්චි නොකළ අතර, නිල නිවසේ වාසයට ගියේද නැත.

නමුදු 2022 මාර්තු 31 වැනිදා ජනපතිතුමාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇතිවූ කළහකාරී සිදුවීම් නිසා එතුමාගේ ජීවිතයට දැඩි අනතුරක් වෙතැයි තොරතුරු ලැබිණි. එදා මාර්තු 31 වැනි දින මා දකින්නේ ත්‍රාසජනක සිදුවීම් රැගත් චිත්‍රපටයක් මෙනි. මෙම සිදුවීමෙන් පසුව, මිරිහාන නිවසේ දී ආරක්ෂක කවුන්සලයේ රැස්වීමක් පැවැත්විණි.

එතැනට පැමිණ සිටි ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, එවකට යුද හමුදාපති වූ ශවේන්ද්‍ර සිල්වා සහ පොලිස්පති ඇතුළු සියලු ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානියාව සිටි ජනරාල් සුරේෂ් සලේ ඇතුළු සියලු දෙනා ප්‍රකාශ කළේ මිරිහාන නිවස අනාරක්ෂිත බවය. එනිසා හදිසි අවස්ථාවකදී සිදුවීමක් වුවහොත් ජනපතිතුමා රැගෙන යාමට විකල්ප මාර්ග නොමැති බවත්, ඔවුහු දන්වා සිටියහ. වහාම එයින් ඉවත්වී ජනපති මන්දිරයට යන්නැයි ඔවුහු බලකර සිටියහ. අකමැත්තෙන් වුවද, ජනපතිතුමා මිරිහාන නිවසින් යෑමට තීන්දු කළේ ඉන් පසුවය. ඒ අනුව අප්‍රේල් 1 වැනිදා සවස 5ට පමණ ජනපතිතුමා ජනපති මන්දිරයට පැමිණියේය.

ඒ වනවිටත් එතුමා ප්‍රකාශ කළේ මම දිගටම හිටියේ මිරිහානේ, කවුරුවත් මගේ ජීවිතයට හානියක් කරන එකක් නැහැ යනුවෙනි. නමුදු ආරක්ෂක ප්‍රධානීන්ගේ බලවත් පෙරැත්ත මත එතුමාට ජනපති මැදුරට යාමට සිදුවිණි. ඉතිහාසයේ සත්‍ය සිදුවීම් ගැන වූ ආවර්ජනා කිරීමේ දී අප සියලු තොරතුරු නිවැරදිව පෙළගැස්වීම කළ යුතුය. ජනපතිතුමා එදා මිරිහාන නිවස අතහැර නොගිය අතර, ආරක්ෂක හේතුන් මත එතුමාගේ අකමැත්තට අනුව සිදුවූ බව මම දනිමි.

පසුව ගෝඨාභය ජනපති ජනාධිපති මැදුරට ඇවිත් ගත කළේ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් යැයි අරගලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළද එය සැබැවින්ම අසත්‍යයකි. ලන්දේසි යුගයේ දී සෑදූ එම ගොඩනැගිල්ල පසුව ජනපති මැදුරක් බවට පරිවර්තනයවීමෙන් අනතුරුව එම මැදුර වටිනා කියන ගෘහ භාණ්ඩ මෙන්ම පහසුකම්වලින් සමන්විතය. කෙසේ වෙතත් ගෝඨාභය ජනපතිතුමා එහි විසුයේ දින 100ක වැනි කාලයක් පමණි.

ගෝඨාභය ජනපති ජනාධිපති මැදුරට ඇවිත් ගත කළේ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් යැයි අරගලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළද එය සැබැවින්ම අසත්‍යයකි. 

ජනපතිතුමා ජනාධිපති කාර්යාලයට ගිය අන්තිම දවස වූයේ 2022 මාර්තු 31 වැනිදාය. ඉන්පසුව ජනපති මැදුරේ සිට එම කටයුතු පවත්වාගෙන යාම සිදුවුණි. ජනපතිතුමා ජනපති මැදුරේ ආහාර ගැනීම නොකළ අතර, රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණි අවස්ථාවක දී පමණක් භෝජන සංග්‍රහවලට එක්විය. 

මිරිහාන නිවසේ සිට ජනපති ලේකම් කාර්යලයට පැමිණීමේ දී එතුමාගේ දින චරියාව අනුව උදේ ආහාරය ගෙදරින් ගෙන ඒමට පුරුදුව සිටියේය. හවස 1 දක්වා ජනපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින එතුමා දිවා ආහාරය වෙනුවෙන් මිරිහාන නිවසට ගොස් පැයකට විතර පසුව නැවත කාර්යාලය වෙත පැමිණීම සිදු කළ අතර, ජනපති මැදුරට ආ පසු ඒ ක්‍රමයේ වෙනසක් වුවද, එතුමා වෙනුවෙන් ජනපති මැදුරේ ආහාර-පාන පිළියෙළ කිරීම සිදු නොකළ යුතු බව කියා සිටියේය. 

ජනපති මැදුරේ වාසයට ආ පසු එතුමාගේ දින චරියා අනුව උදේම අවදිවීම පුරුද්දක් කරගෙන සිටියේය. උදෑසනම අවදි වූ එතුමා අමාත්‍යවරුනට සහ අදාළ නිලධාරීන්ට කතා කොට රටේ තිබූ ප්‍රශ්න ගැන විමසා ඒවාට විසඳුම් ලබාදීම වෙනුවෙන් උපදෙස් දීම කළේය. උදෑසන ආහාරය ගැනීම උදේ 8ට පමණයි. උදේට සාකච්ඡා සහ හමුවීම් සියල්ල සඳහා සූදානම් වූයේ ඉන් පසුවය. ජනපති කාර්යාලයට යාමට නොහැකි වූයේ අරගලකරුවන් විසින් ‘‘ගෝඨාගෝගම’’ නමින් අට්ටාල අටවාගෙන ජනපති ලේකම් කාර්යාලය බලහත්කාරයෙන් ඔවුනගෙ අණසකට නතුකරගෙන සිටි නිසාය. මේ නිසා සියලු සාකච්ඡා ඇතුළු රාජකාරි සියල්ල ජනපති මන්දිරයේ සිට කිරීමට සිදුවිණි. ආරක්ෂක උපදෙස් මත ජනපතිතුමා ජනපති කාර්යාලය පරිශ්‍රයට නොගිය ද ජනපති ලේකම්වරයාව සිටි ගාමිණී සෙනරත් පමණක් ලේකම් කාර්යාලයේ සහ ජනපති මැදුරේ සිට කටයුතු කරගෙන ගියේය. මාත්, එගොඩවෙල මහතා සහ ලලිත් වීරතුංග මහතා ඇතුළු අපට පූර්ණකාලීනව අපේ රාජකාරි ජනපති මැදුරේ සිට කරගෙන යාමට සිදුවුණි. එය අපට ගෙන දුන්නේද ආගන්තුක අත්දැකීමකි. ජනපති මැදුරේ ඇති කාමර ගණන හෝ අනෙකුත් පහසුකම් මොනවාද යන්න ගැනවත් අපි නොදැන සිටියෙමු. පිහිනුම් තටාකය අපි භාවිත නොකළෙමු. කැබිනෙට්ටුව පවත්වාගෙන ගියේ එහි ඇති සම්මන්ත්‍රණ ශාලාවේ සිටය.

ඉතිරිය ලබන සතියට...

සඳුන් ගමගේ