ගමෙන් පැන ගිහින් විලාසිතා ලොව ජයගත් ලුවී වි​ටෝන්


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ඉගෙන ගෙනත් නැතුව ස්වකීය නිර්මාණශීලීත්වය හඳුනාගෙන විලාසිතා ලෝකයේ විප්ලවීය වෙනසක් කළා
  • වයස 13දී ලුවී අන්චේ සිට කිලෝමීටර පන්සියයකට ආසන්න දුරක් ගෙවා පැරිසියට පලා ගියේය
  • හදා වඩාගත් මවගෙන් සිදුවූ කරදර හමුවේ ‘ලුවී’ ගමෙන් පලා යනවිට වයස 13ක්

තරු නිල් මැණිකක් නිසා මුළු ලෝකයම වගේ ශ්‍රී ලංකාව ගැන කතා කරන මොහොතකි මේ. එවැනි මොහොතක ලෝකයේ සුපිරි විලාසිතා සාප්පුවක් වෙත ඔබ කැඳවාගෙන යාමටයි. අද අපේ සූදානම. මෙම විලාසිතා සාප්පුව මුළු ලෝකයේම ප්‍රකටව ඇත්තේ විවිධ විලාසිතා නිසාය. එම විලාසිතා අතරට ඉතා ඉහළ වටිනාකමකින් යුතු ජුවලරි නිර්මාණ හෙවත් ස්වර්ණාභරණ පවා අයත් වෙනවා. එහෙත් මෙම විලාසිතා නාමයේ ඕනෑම නිර්මාණයක් මිලදී ගත හැකි වන්නේ මුදල් යහමින් තියෙන අයට පමණයි. ලෝකයේ බොහෝ ප්‍රභූ පවුල්වල උදවිය වගේම ලෝ ප්‍රකට වෙළඳනාම යටතේ විලාසිතා මිලදී ගැනීමට කැමැත්තක් දක්වන බොහෝ දෙනා LV හෙවත් ලුවී විටෝන් යන නාමයට ප්‍රමුඛත්වය දෙන බව කීමට පුළුවනි. ඉහළ වටිනාකමකින් යුතුව විලාසිතා හා ජුවලරි නිර්මාණ අලෙවි කරන ලොව ප්‍රකට ‘ලුවී විටෝන්’ සමාගමේ කතාව ප්‍රකට සමාගම් ලොව දිනු හැටි විශේෂාංගය වෙතින් අද අපි කියවමු.

   
බ්‍රෑන්ඩඩ් හෙවත් ප්‍රකට වෙළඳනාම යටතේ විලාසිතා කිරීමට දැඩි සේ ලොල් කරන මිනිස්සු වගේම පොහොසතුන්ගේ අංක එකේ තේරීමක් වූ LV බිහිකළ ලුවී විටෝන්ගේ ජීවිතය ආරම්භ වූවේ ඉතාම දුක්ඛිත අයුරිනි. කවුද මේ විටෝන්? 

 

 
ලුවි විටෝන් (Louis Vuitton)   


ලුවි විටෝන් මලෙමියර් නොහොත් ‘ලුවී වි​ටෝන්’ ලෙස ප්‍රකට ’ඔහු ප්‍රංශ ජාතිකයෙකි. ‘ලුවී’ උපන්නේ 1821 අගෝස්තු 4 වැනිදා ප්‍රංශයේ අන්චේ ජුරාහිදීය. මෙම ජුරා (Jura) පළාත යනු අතිශය රමණීය පරිසරයකින් හැඩ වූ සුන්දර පළාතකි. ජුරා කඳු පෙළ සහ ගංගාව මේ පළාතට ගෙන දෙන අසිරිය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. ජුරා යනු ලස්සන චිත්‍රයක් මෙනි. එතරම් සුන්දර පරිසරයක උපත ලබා සිටි පුංචි ලුවීගේ ජීවිතය නම් සුන්දර වූවක් නොවුණි. ලුවී අයත් වූයේ කලා හැකියාව තිබූ මව්පිය යුවළකටය. ඔහුගේ මව හිස්වැසුම් නිර්මාණය කළාය. පියා වඩු කර්මාන්තයෙහි නිරත විය. ඔවුන් ඒවා කළේ සුළු වශයෙනි. ඊට අමතරව ගොවි කටයුතුවලද නිරත වීමට ලුවිගේ මව්පියන්ට සිදුවිණි. පුංචි ලුවි මව සහ පියාගෙන් ලද කලාත්මක හැකියාව ආස්වාදය කරමින් ජුරාහි සුන්දර පරිසරයේ අසිරිය විඳිමින් ළමා කාලය ගත කරමින් සිටියේය. ඒ සුන්දර ළමා විය ගත කිරීමට ඔහුට හැකි වූයේ අවුරුදු 10 දක්වා පමණෙකි. මව ජීවිතක්ෂයට පත්වූවා යැයි පුංචි ලුවි හට දැන ගන්නට ලැබිණි.   


‘කමක් නැහැ මට තාත්තා හරි ඉන්නවනෙ’ මවගේ අනපේක්ෂිත වියෝවෙන් පසුව ලුවි හිත හදා ගත්තේ එලෙසිනි. මව නැති ශෝකය දරාගෙන යාන්තමට හිත හදාගෙන සිටි ලුවි යළිත් වරක් අසරණ වූයේ මවගේ මරණය සිදුවී වැඩිකල් යාමට මත්තෙන් පියාද මියගිය නිසාය.   


ඉන්පසු ඔහු හදා වඩා ගැනීමට කාන්තාවක් ඉදිරිපත්වී සිටියාය. එහෙත් ඇයගෙන් කුඩා ලුවි හට ලැබුණේ කුඩම්මාගේ සැළකිළිය. ලුවි හට ඇය තේරුම් ගැනීම මෙන්ම ඇයට ලුවිව තේරුම් ගත නොහැකි තත්ත්වය පුපුරා ගියේ වයස අවුරුදු 13 දී ‘ලුවි’ අන්චේ පළාත හැරයාමට තීරණය කිරීමත් සමගය.   


වයස 13දී ලුවි විටෝන් පැරිසියට පලා යාම  


වයස අවුරුදු 13 පසු වුවද ‘ලුවි’ හට තිබුණේ ශක්තිමත් මනසකි.   


‘මම මගේ ජීවිතය කොහොමහරි හදා ගන්නවා’ 

 
එසේ සිතූ ඔහු වසන්ත සමය එළැඹෙන තෙක් බලා සිටියේය. 1835 වසරේ වසන්ත සමය එළැඹ තිබිණි. අන්චේ සිට පැරිසියට සැතපුම් තුන්සියයක්, හෙවත් කිලෝමීටර් 500ක පමණ දුරක් තිබේ. පුංචි ලුවි සැතපුම් තුන්සියයක දුරක් ගෙවා පැරිසියට ළඟා වූයේ වසන්තයේ සිහිල් සුළඟේ නැවුම් බව ආස්වාදය කරමිනි. පැරිසිය යනු කලාගාරයක් බඳු නගරයකි. නිර්මාණශීලී හැකියාව ඇති බොහෝ දෙනාට නිර්මාණාත්මක ශක්තියෙන් නැගී සිටිය හැකි අපූරු තෝතැන්නකි. එමෙන්ම දිනෙන් දින අලුත් අලුත් විලාසිතා උපදින උල්පතක් මෙන් වූ තැනකි. එලෙසින් වර්ණවත් වූ පැරීසියේ සිට තම ජීවිතය වර්ණවත් කර ගැනීම අරමුණු කරගෙන ජීවිතය ඇරඹියේ සුළු සුළු වැඩකරමිනි. පැරිසියට ඇවිත් දෙවසරක් ගත වූ පසු යළිත් වරක් ප්‍රංශ අධිරාජ්‍ය ගොඩනැගුණේ තෙවැනි නැපෝලියන්ගේ නායකත්වය හමුවේය. මේ වනවිට ලෝක කර්මාන්ත විප්ලවය ඇතිවී තිබිණි. එනම් අලුත් අලුත් දේ තැනීමට සහ නිර්මාණය කිරීමට මිනිසුන් පෙළැඹ සිටි යුගය ආරම්භ විය. ප්‍රංශයේ අවසන් අධිරාජ්‍යා වූ තෙවැනි නැපෝලියන්ගේ පවුලේ ආදරය දිනා ගැනීමට වයස 16 පමණ පසුවූ මේ ‘ලුවි’ හට හැකි විය. එසේ වූයේ කෙසේද?   


තෙවැනි නැපෝලියන් අධිරාජ්‍යාගේ අග රැජිණ වූ ඉසුරිනි වෙනුවෙන් බෑග් නිර්මාණය කිරීමට ලැබීම   
වයස අවුරුදු 16 පමණ වනවිට ‘ලුවි විටෝන්’ ට්‍රන්ක පෙට්ටි’ සෑදීමට එළැඹ සිටියේය. ඔහු ඒවා කළේ ඉතාම කලාත්මක විදියටය. එලෙසින් තනන ලද ට්‍රන්ක් (Trunk) ඇතුළත භාණ්ඩ ඇසිරීම කළේ ඉතා ලස්සන රටාවකටය. මේනිසා ඔහු එකල පැරිසියේ ප්‍රකට වූයේ ට්‍රන්ක් මේකර් සහ පැකර් (පෙට්ටි සාදන සහ ඒවායෙහි ඇසිරීම් කරන) යනුවෙනි. ප්‍රංශ බසට අනුව මලෙටියර් (malletier) යන්නෙහි තේරුම ට්‍රන්ක් මේකර් නොහොත් ​පෙට්ටි සාදන්නාය. ලුවි විටෝන් යන නමට මලෙටියර් යන්න එක්වූයේ ඒ අනුවය. එදා පැරිසියේදී ඔහුට බොහෝ දෙනා කිව්වේ මලෙටියර් කියාය.   


කාර්මික විප්ලවය සමග ප්‍රංශයට හොඳ කලක් උදාවූවා සේම වයස 16 පසුවුණු ලුවි විටෝන් හට හොඳ කලක් උදාවූයේ තෙවැනි නැපෝලියන් අධිරාජ්‍යයාගේ බිසව වූ මරියා ඉයුජින් ඉග්නේෂියා හට ඇයගේ ඇඳුම් ආයිත්තම්, සපත්තු ඇතුළු විලාසිතා සියල්ල බහාලීමට ‘ට්‍රන්ක්’ පෙට්ටි නිර්මාණය කරදීමේ සහ ඒවා ඇසිරීමේ කටයුත්ත ලුවී හට පැවරුණ නිසාය. අධිරාජ්‍යයා මේ නිර්මාණශීලී ‘ලුවී’ ඔහුගේ මාලිගයේ මෙලෙසින් කටයුතු කරන පුද්ගලයා ලෙස බඳවා ගැනිණි. එනම් ලුවි ස්වකීය නිර්මාණ සියල්ල කළේ තෙවැනි නැපෝලියන් අධිරාජ්‍යගේ මාලිගයට පමණෙකි. එය ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය හැරවුමක් බවට පත්වූයේ රාජකීය පවුල හා බැඳී සිටි අනෙකුත් ප්‍රභූ පවුල්වල උදවිය වෙනුවෙන් විලාසිතා ඇඳුම් සහ ඉහත කී අන්දමට විවිධ භාණ්ඩ නිර්මාණය කරදීමේ ඇණවුම් ලැබීමත් සමගය. ලුවි වි​ටෝන්ගේ ඒ ආරම්භයම සුපිරි ආරම්භයක් බවට පරිවර්තනය වී තිබුණේ එලෙසිනි. ඒ අනුව ලුවි විටෝන් හෙවත් LV යන නාමය පැරිසිය සිසාරා ප්‍රකට වූයේ සුපිරි පැලැන්තිය වෙනුවෙන් අනගි විලාසිතා නිර්මාණ කරන මෝස්තර නිර්මාණ ශිල්පියා ලෙසය. ලුවි විටෝන් ද තම නිර්මාණ සියල්ල දිනෙන් දින ඉතා උසස් අයුරින් කිරීමට මෙන්ම ලෝකයේ වෙන කොතැනකදීවත් දැකගත නොහැකි අන්දමේ නිෂ්පාදන බවට පත් කරවීමට කටයුතු කළේය. සැබැවින්ම ඔහු සතු වූ අගනා නිර්මාණශීලීත්වය නිසාමය. මහා ලොකුවට ලෙහෙසියෙන් ගෙනයා හැකි නොහැකි ට්‍රන්ක් බෑග් මෙන්ම අනෙකුත් විලාසිතා වෙනුවට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි LV නාමය යටතේ 1854දී පමණ විවිධ විලාසිතා නිර්මාණය කිරීමේ කටයුත්ත ඇරඹිණි. ලුවි විටෝන් වෙනුවට LV නාමය යටතේ නිපදවන කාන්තා අත් බෑග් වෙත ලැබුණේ ඉතා ඉහළ වටිනාකමකි. ඉනික්බිතිව ඇඳුම් සහ අනෙකුත් විවිධ විලාසිතා මෙන්ම ජුවලරි විලාසිතා යනු ඔවුනටම අනන්‍ය වූ ඒවා විය. දෙවැනි ලෝක යුද සමයේදී ලුවි විටෝන් ‘නාසී’ කඳවුර සමග අත්වැල් බැඳ සිටි තවත් චරිතයක් යැයි සඳහන්ය.  


33 දී 17 කෙල්ලෙක් කරකාරබැඳගෙන   


මේ ලුවි විටෝන් යනු කුඩා කාලයෙන් පසුව හරි අම්මෙක් අප්පෙක් යටතේ හැදී වැඩුණු චරිතයක් නොවුවද ජීවිතයේ මග වරද්දවා ගත්තෙකු නම් නොවීය. ඔහුගේ ජීවිතය වෙතින් සමාජයට ගත හැකි ඉහළම ආදර්ශය වන්නේ එයයි. එසේ වුවද ලුවි කසාදයක් කර ගත්තේ වයස අවුරුදු 33 දී පමණය. ඒ ඔහුගේ වයසින් හරි අඩකට බාල වූ 17 වියැති වියේ පසුවූ ක්ලෙමන්ස් එමිලී සමගය. ඇය සමග ඇරඹි නව යුග දිවියෙන් පසුව පැරිසියේදී ඇඳුම් බහාලන පෙට්ටි සෑදීමේ සහ ඇසුරුම් කිරීමේ වැඩපළක් පටන් ගත්තේය. 1871 දී පමණ ජර්මානු - ප්‍රංශ යුධ සමයේදී ලුවි විටෝන් නිෂ්පාදනවලට තරමක හානියක් ගෙන දුන්​නේය. කෙසේ වෙතත් විලාසිතා යනු දිනෙන් දින නව තාලයෙන් එළිදැක්වෙන ඒවාය. ලුවි විටෝන් ස්වකීය ආත්මයෙන්ම නවතාවය උරුමකරගෙන පැමිණියෙක් වූවේය. ලෝක විලාසිතා ලෝකයට පොහොසත් බවක් ලබා දුන් අනගි බවක් උරුම කර දුන් ලුවි විටෝන් හෙවත් LVගේ හැඩකාර ජීවිත ගමන සදහටම නතර වූයේ 1892 දීය. ඒ වනවිට ඔහු හැත්තෑ වන වියේ පසුවිය.   


ලුවි විටෝන්ගෙන් පසුව ජෝජ්ස් ෆෙරෝල් විටෝන්   


ලුවිගෙන් පසුව LV නාමයේ සුපිරි උරුමක්කාරයා වී සිටියේ ලුවි සහ එමීලිගේ එකම පුතු වූ ජෝජ්ස් ෆෙරෝල් විටෝන්ය. තාත්තාගේ පොහොසත් වූත්, හැඩකාර වූත්, ලස්සන ගමන ඔහු ආ පසු ලෝක ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. ඒ ලෝක ව්‍යාප්ත ගමන කෙතරම් පැතිරී ගියේද යත් ලෝකයේ රටවල් 50ක පමණ ව්‍යාප්තවිණි. රටවල LV (ලුවි විටෝන්) සාප්පු පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිතව තිබේ. 

 

 

LV මෙතරම් අනර්ඝ වීමට හේතු

   
ලුවි විටෝන් නිෂ්පාදන සාප්පු යුරෝපයේ, ඇමරිකාවේ, ජපානයේ, රුසියාවේ ඇතුළු බොහෝ රටවලදී දැකගත හැකිය. මෙම සාප්පුවලදී අලෙවි කෙරෙන්නේ වසරේ ඍතුවලට ගැලපෙන පරිදි නිෂ්පාදන වේ. එම ඍතුවෙන් ඍතුවට අනුව අලෙවි නොවූ ලුවි විටෝන් නිෂ්පාදන සේවක පිරිස අතරේ වට්ටම් සහිතව ලබා දේ. නැතහොත් ටික දිනක් අන්තර්ජාල අලෙවි කටයුතු ඔස්සේ අලෙවි කෙරේ. එහෙත් ඒවා දීර්ඝ කාලයක් තබා ගත්තේ නැත. එක්කෝ ඒවා ගිණි තබා විනාශ කර දැමීමට ලුවි විටෝන් සමාගම කටයුතු කරයි. 

 
ලුවි විටෝන් නිෂ්පාදන කිසි දිනෙක සේල් සඳහා යොදා ගත්තේද නැත.   


ලුවි විටෝන් නාමයේ සියලුම නිෂ්පාදන නිර්මාණය කරන්නේ ජලයට හා ගින්නට ආරක්ෂා වන පරිදිය. (water proof and fire proof) මේවා අනර්ඝ වීමට එය ප්‍රධාන හේතුවකි.   


LV නාමය කෙතරම් නම් පොහොසතුන් අතර ජනප්‍රිය වීද යත්, තමාගේ ශීතකරණයට, ඇඳුම් අල්මාරියට, මේසයට, පුටුවට ආදී විවිධ දේ සඳහා ලුවි විටෝන් වෙතින් නිෂ්පාදන තමන්ටම පමණක් නිපදවා ගැනීමට උත්සුක වේ.   


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වූ මයිකල් ක්ලාක් එයාගේ ක්‍රිකට් ආම්පන්න සහ සමරු බහාලීමට ලුවි විටෝන් නිෂ්පාදනයන් භාවිත කළ අතර පසුව එය වෙන්දේසි කළේ සිඩ්නිහි ටීම් කිඩ්ස් ළමා රෝහලට මුදල් පරිත්‍යාග කිරීම වෙනුවෙනි. එය ඩොලර් 1,70,000කට වෙන්දේසී වූ අතර මයිකල් ක්ලාක් එම මුදල ඉහත කී රෝහලේ ගිණුමට බැර කළේය. එය ලංකා මුදලින් බැලුවොත් රුපියල් 25,068,901 කි.   
මෙතෙක් නිෂ්පාදිත ලුවි විටෝන් කාන්තා අත්බෑග් අතරින් ඉහළම මිලකට අලෙවි වූ නිර්මාණය ලෙස සඳහන් වන්නේ ඩොලර් 1,33,400කට අලෙවි වූ අත් බෑගයයි. ජපාන ජාතික මෝස්තර නිර්මාණ ශිල්පිනියකගේ දෑතින් එය නිර්මාණය වූයේ වට්ටක්කා ගෙඩියක ආකාරයකටය. ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් 19671714කි.   
මෙලෙසින් LV හෙවත් ලුවි විටෝන් නාමය කෙරෙහි උමතුවෙන් මෙන් බැඳී වෙලී සිටින පිරිස නම් එමටය. හැබැයි එක් දෙයක් නම් කිව හැකිය ලුවි වි​ටෝන් යනු ඉතා අනර්ඝ නිමාවෙන් සහ අලංකාර නිමාවෙන් යුතු විලාසිතා නිෂ්පාදනය. මේ අයුරින් ලෝක විලාසිතා කලාවට සුපිරි අරුතක් වටිනාකමක් ගෙනදුන් ලුවි විටෝන් සහ ඔහුගේ පුතු වූ ජෝජ්ස් ෆෙරෝල් ද අද ජීවතුන් අතර නොවේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියන් කිසිවකු හෝ නොමැතිව ගමේ සිට පැරිසියට පලා ඇවිත් විලාසිතා ලෝකයට විප්ලවීය අරුතක් දුන් චරිතය මේ ලුවි විටෝන්ම නොවේද? ඔබ ලුවි විටෝන්ගේ ෆැෂන් කරන්නේ නම් ඔහුගේ ජීවිතයෙන් ගත යුතු හොඳම දේ වන්නේ ඒ විලාසිතාවලට එහා ගිය ඔහුගේ පොහොසත් ජීවන දර්ශනයයි.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ