ගිනි පෑගීම පිදීමක් සහ කලාවකි


සෑම වසරකම ඇසළ පොහොයට පෙර දිනයේ දිය කැපුමෙන්  කතරගම ඇසළ උත්සවය නිමාවන අතර දින 15ක් පුරා සියලු‍ නැකත් චාරිත්‍රවලට අනුකූලව පැවැත්වුණු කතරගම ඇසළ පෙරහර මෙවරත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවට පත්විය. කතරගම දේවාලය මුල් කරගනිමින් ඇසළ මහා පෙරහර පැවැත්වෙන අතර අවසානයේ කිරිවෙහෙර අබියස පැවැත්වෙන චාරිත්‍රවලින් පසු කතරගම ඇසළ සමය නිමාවට පත්වන්නේ කතරගම දෙවි හාමුදුරුවන් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධානතම චාරිත්‍රය වන ගිනි පෑගීමේ චාරිත්‍රයෙනි.

1948 සිට කතරගම දේවාලයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට හිමිවන්නේ මුල්තැනකි. ගිනි පෑගීම දේවාලයට අයත් චාරිත්‍රයක් ලෙස නොතිබුණු කාලයක වසර 1948 දී ඉන්දීය සම්භවයක් ඇති දමිළ සාමිවරුන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් මෙය ඉටුවූ බව කතරගම දේවාලයේ ගිනි පෑගීමේ ඉතිහාසය පිළිබඳ සොයාබැලීමේදී හමුවෙයි.

කතරගම පමණක් නොව නවගමුව, හලාවත මුන්නේස්වරම ඇතුළු දේවාල රාශියක ගිනි පෑගීමේ චාරිත්‍රය මේ වනවිට ඉටු කරන අතර ඒ අතරින් වැඩි ම පිරිසක් එක්වන ගිනි පෑගීම සිදුවන්නේ කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යයේදී පමණි. දෙපතුල් නොපිලිස්සී ගිනි පාගන්නට ලැබෙන්නේ දේව භක්තිය නිසාද යන්න බොහෝ දෙනා ගේ සිත්වල මතුවන පැනයකි. මේ ඒ පිළිබඳ සොයාබැලීමකි.

රුහුණු කතරගම මහා දේවාලයේ මෙන්ම දිවයිනේ පෞරාණික දේවාල භූමිවල ගිනි පෑගීම පූජාව බාර පාරම්පරික ශිල්පී දිනේෂ් මල්වත්තේ මොහොට්ටි මහතා ගිනි පෑගීමේ ඉතිහාසය ගැන විස්තර කළේ මෙසේය.

ගිනි පෑගීමේ යටගියාව

ගිනි පෑගිම රජ දවසේ සිට එන සිරිත් සම්ප්‍රදායක් නොවුණත් කාලෙක පෙර බැතිමතකු විසින් කතරගම දෙවියන් උදෙසා කළ පූජාවක් ලෙස ගිනිපෑගීම හඳුන්වන පුළුවන්. ගිනි පෑගීම කියන්නේ ප්‍රධාන වශයෙන්ම කතරගම දෙවිහාමුදුරුවන් මුල් කරගෙන සිදුකරනු ලබන පූජාවක්.

කතරගම දේවාලයේ මුලින් ම ගිනි පෑගීමේ පූජාවක් පැවැත්වෙන්නේ 1948 වර්ෂයේදී. ඒ පිළිබඳව පොතපතේ සදහන් වෙන පරිදි වර්ෂ 1946 දී මුලින්ම කතරගම දේවාලයේ ගිනි පෑගීම ආරම්භ කළේ යාපනයේ බ්‍රාහ්මණ සාමි නමැත්තෙකි. ඔහු තම පාදයේ ඇති වූ කුෂ්ඨ රෝගය සුව කර ගැනීමට කතරගම දෙවියන්ට බාරයක් වී තිබෙනවා. එහිදී ඔහු රෝගය සුව වූ වහාම කතරගම දෙවිහාමුදුරුවන් ඉදිරිපිට ගිනිපාගන බවටත් පොරොන්දු වූ බාරය අනුව ආබාධය සුව වූ නිසා 1948 බ්‍රාහ්මණ සාමි, සෙල්ලයියා සාමි, සහ තවත් සාමිවරු කිහිපදෙනෙක් ඇතුළුව දෙමළ ජාතිකයන් 10දෙනකුගෙන් යුත් කණ්ඩායමක් දේවාල මළුවේ ගිනි පෑගීමක් කළ බවට සඳහන් වෙනවා.

කතරගම දේවාල මළුවේ ගිනි පෑගූ පළමු සිංහලයා

මුල් කාලයේ ගිනි පෑගීම සිදුවූයේ දෙමළ හින්දු බැතිමතුන් අතර පමණයි. ඇත්තටම සිංහල අයට ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේම නැහැ. ඒ කාලේ චෙල්ලයියා කියලා ඉන්දියානු ජාතිකයකු තමයි ගිනිමැලේ බාරව ඉඳලා තියෙන්නේ. 1948 වසරේ මුතුකුඩ කියලා මහත්මයෙකු ගිනි පෑගීමට ගියත් එයට අවස්ථාව හිමි වන්නේ නැහැ. මුතුකුඩට ඉඩ නොදුන් නිසා ඔහු නැවත ඊළඟ වසරේ නැවත ගිනි පෑගීමට ගියත් ඒ වසරේත් අවස්ථාව නොලැබුණ බව සඳහන් වෙනවා. පසුව ගිනි මැලයට දර සපයන පුද්ගලයත් සමග සම්බන්ධ වෙලා දේවාලේ කපුමහත්තුරුත් අඳුනගෙන ඒ දර සපයන පුද්ගලයා සමඟ ගිනි මැලය භාරව කටයුතු කළ චෙල්ලයියා සාමිට කියලා මම වෙච්ච බාරයක් ඔප්පු කරන්න ඕනෑ කියලා බැගෑපත් වී තිබෙනවා. මුතුකුඩට ඒ අනුව ගිනි පෑගීමට අවස්ථාව ලැබී තිබෙනවා. මුතුකුඩ ගෙන් පසුව තමයි සිංහල බෞද්ධ අයටත් ගිනි පෑගීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ දවස්වල ප්‍රචාරය වුණා පුවත්පත්වල පළමු වැනි ගිනි පෑගූ සිංහල පුද්ගලයා මුතුකඩ මහත්තයා කියලා. කොහොම හරි 1962 වසරේ ඉඳලා ගිනි පෑගීම සිදුකළේ කතරගම දේවාල මළුව ඇතුළේ.  

මුල් කාලයේ දේවාල මළුවේ කළ ගිනි පෑගීම 1962 දී මළුවෙන් පිටත කිරීමට සිදුවුණේ මේ පූජාව සියැසින් දැක බලා ගැනීමට දහස් ගණනින් පිරිසක් එක්වෙන්න පටන් ගත් නිසයි. අදත්ටත් බොහෝ දෙනාට ගිනි පෑගීමේ අවස්ථාව කුතුහලය දනවන සිද්ධියක්. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් මෙය දැක ගැනීමට පැමිණ පුදුමයට පත්වෙනවා.

ඔබේ ගිනි පෑගීමේ පරම්පරාව හැදෙන්නේ කොහොම ද?

මුතුකුඩ සාමිගෙන් පසුව සිංහල බෞද්ධයෙකු විදිහට කතරගම දෙවිහාමුදුරුවන් ඉදිරිපිට ගිනි පෑගූ ඊළඟ සිංහලයා වෙන්නේ මගේ සීයා වූ  මාර්ටින් මල්වත්තේ මොහොට්ටි. මගේ සීයාගේ අභාවයෙන් පස්සේ මගේ පියා සරත් මල්වත්තේ මොහොට්ටි කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේ ගිනිපෑගිල්ල සිදු කරලා ගිනිමැලය භාරව කටයුතු කරලා තියෙනවා. මම ගිනි පාගන්නේ අවුරුදු 8 දී ඉඳලා. අපි පාරම්පරික ගිනි පාගන සාමිවරු. තාත්තාගෙන් පස්සේ රුහුණු කතරගම මහා දේවාලයේ මෙන්ම දිවයිනේ පෞරාණික දේවාල භූමිවල ගිනි පෑගීම පූජාව භාර වුණේ මට. දැන් ලංකාවේ සෑම තැනකම ගිනි පැගීම භාරව කටයුතු සිදුකරගෙන යන්නේ මම.

ඒ වගේම ගිනි පෑගීම සංස්කෘතික මංගල්‍යක් විදිහට මුලින්ම ජාත්‍යන්තරයට රැගෙන ගියෙත් මගේ සීයා මාර්ටින් මල්වත්තේ මොහොට්ටි. සීයාගෙන් පස්සේ මගේ තාත්තා සරත් මල්වත්තේ මොහොට්ටි රටවල් 18 කට පමණ මේ සංස්කෘතික මංගල්‍ය ගෙනිහින් තිබෙනවා. ලංකාවේ නම් ගිනි පෑගීම බහුලව සිදුවූයේ හින්දු භක්තිකයන් අතර වුවත් ගිනි පෑගීම ඉන්දියාව, ටිබෙටය, ජපානය, පිලිපීනය, මැලේසියාව වැනි රටවලත් සිදු වෙනවා. ඒ අනුව ගිනි පෑගීම එක් ආගමකට සීමා වූ පූජා චාරිත්‍රයක් නොවන බව පැහැදිලියි. මගේ සීයාගේ ගිනි පෑගීම බලන් ඉඳලා විදේශිකයන් සීයාගේ යටි පතුලේ සම පවා පරීක්ෂණ කරන්න අරන් ගිහින් තියෙනවා.

ඒ කොයි අවදියේ ද?

1969 හොප්ස් කියලා විශේෂඥ වෛද්‍යවරුන් ඉන්න නැවක් ඇවිත් තියෙනවා ලංකාවේ වරායට. ලංකාවට ආපු වෙලාවේ බෞද්ධාලෝක මාවතේ හෝටලේක තමයි ඒ වෛද්‍යවරුන් ඉඳලා තියෙන්නේ. මගේ සීයා ගෙන්නලා තියෙනවා සංස්කෘතික අංග කීපයක් ඉදිරිපත් කරන්න ඒ අය වෙනුවෙන්. ඒවෙලාවේ සීයා ගිනිපැගීම සිදුකරනවා දැකලා පුදුම වුණ විදේශීය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සියාගේ දකුණු කකුලේ යටි පතුලේ සමේ කොටසක් අරන් පර් යේෂණ කර තියෙනවා කොහොම ද මේ විදිහට දැඩි රස්නය තියෙන අඟුරුමත ඇවිද්දේ කියලා. පර් යේෂණ වලින් පස්සේ දැනුම් දුන්නාලු‍ සීයාට තියෙන්නෙත් සාමාන්‍ය මනුස්සයෙකුට තිබෙන සම කියලා.

ගිනි පෑගීම කියන්නේ ඕනෑම අයෙකුට කරන්න පුළුවන් කාර්යයක් ද?  

ගිනි පෑගීමට මූලිකව මනස එක තැනක තිබෙන්න ඕනෑ. මානසික ඒකාග්‍රතාව ඉතාම වැදගත්. යම් විදිහකින් සිත වෙනස් වුණොත් ගිනිමැලයේ දී පිච්චෙන්නට පුළුවන්. දැන් වයස අවුරුදු හයේ හතේ පුංචි දරුවන් පවා ගිනි පාගනවා. එදා සිට අද දක්වාම ගිනි පෑගීමේ දී සෑම වසරකම කිහිප දෙනෙක් පිලිස්සීම්වලට ලක් වෙනවා. අනතුරු වෙන්නේ එන බැති මතුන්ගේ නොසැලකිලිමත්කම නිසා. මෙවර ගිනි පෑගීමේ චාරිත්‍රයේදී කිසිඳු බැතිමතකු රෝහල් ගත කිරීමක් සිදුවුණේ නැහැ. මෙවරත් බැතිමතුන් හයසීයයක් පමණ ගිනිපැගීමේ චාරිත්‍රයට සහභාගි වුණා. ගිනිපෑගීමට විශේෂ හේතුවක් අවශ්‍ය නැහැ. ඒ වගේම සමහර අය හිතනවා ගිනි පාගන්න පුළුවන් දේව වරම් තිබෙන අයට පමණයි කියලා. එහෙම එකක් නෑ. මානසික ඒකාග්‍රතාව තිබෙන මාස කිහිපයක් මස් මාංශයෙන් තොරව පේවී සිටින බැතිමතුන් කතරගම පෙරහරේ යමින් අවසානයේ ගිනි පෑගීමට එකතු වෙන පිරිසුදුව කිලි කුණුවලින් තොරව පේ වෙලා එන ඕනෑම කෙනකුට ගිනි පාගන්න පුළුවන්කම තිබෙනවා. ලෙඩ රෝග, භාරහාර වැනි දේවල් වෙෙළහෙළදාම දියුණුව වැනි දේවල්වලට කතරගම දෙයිහාමුදුරුවන් වෙනුවෙන් ගිනි පැගීම සිදු කර ආශීර්වාද ලබා ගැනීම සිදු කරනවා. ගිනි පැගීම කියන්නේ කතරගම දෙයිහාමුදුරුවන්ගේ බලය ශක්තිය පෙන්නවන එක් අවස්ථාවක් ලෙසත් හඳුන්වන්න පුළුවන් .

ඒ අවස්ථාවට මෝලම් ගහලා කාවඩි නටන්නෙත් මෝහනයක් වගේ කරලා සිත එක්තැන් කරන්නයි. මේක බලා ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පළපුරුද්දත් සමග යන දෙයක්.

ගිනි පෑගීම ගැන හා ඒ චාරිත්‍ර ගැන නිසි දැනුමක් නොමැති අය හැම අවුරුද්දෙම අනතුරු කරගන්නවා. ව්‍යාජ සාමිවරු කියාගත්ත උදවිය කිසිම දැනුමක් නැති අය නිසාත් බැතිමතුන් අනතුරු කර ගන්නවා අපි දැකලා තියෙනවා. වර්තමානය වෙනකොට ව්‍යාජ සාමිවරු නිසා මේ ගිනි පෑගීමේ චාරිත්‍ර විනාශ වෙලාම ගිහින්.

අපි කතරගම දේවාලයේ ගිනි පෑගීම සිදු කෙරේ පරම්පරා ගාණක ඉඳලා. මමත් වසර ගණනාවක ඉඳලා මේ ගිනි පෑගීමේ චාරිත්‍රය ඉටු කරනවා. මේ පිළිබඳ නියමිත ක්‍රම විධි, රහස් ක්‍රම, වගේම විශාල චාරිත්‍ර කිහිපයක් තිබෙනවා. කතරගම පෙරහැර අවසාන දවසට කෙළින්ම ඇවිත් ගිනි පාගන්න ඉල්ලන අය ඉන්නවා. මේක ඒ වෙලාවට ඇවිල්ලා හිත පහළ වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙ⁣යි. දෙවියන් වෙනුවෙන් කැප වෙලා කළ යුතු චාරිත්‍රයක්.

ගිනි මැලය උඩින් තබන අඩියට මහාචාර්ය කාලෝගේ අභියෝගය

කාලෝ ෆොන්සේකා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ගිනි පෑගීම විද්‍යාව සමග බොරුවක්, මුළාවක් යැයි කියා එතුමන් ඒ අභියෝගය එල්ල කළේ මගේ සීයට. ඒත් මගේ සීයා විද්‍යාවට ඔප්පු කළා මේක දෙවියන් කෙරෙහි පවතින දැඩි විශ්වාසයත් චිත්ත ශක්තියත් සමග යන දෙයක් කියලා.

ගිනි පෑගීමේවල සහ අඟුරු සකස් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා ද? 

ගිනි පෑගීමට යොදාගන්න අඟුරු ලබාගැනීමට විශේෂයෙන් යොදා ගැනුණේ මිල්ල දර. මේ වෙනකොට මිල්ල දර සොයාගැනීමේ අපහසුතාව නිසා පලු‍, වීර වැනි දර ගිනිමැලය සකස් කර ගැනීමට යොදාගැනෙනවා.

ගිනි පෑගීමේවල අඩි විස්සක් දිග. අඩි 10 පළල ප්‍රමාණයකින් තමයි නිර්මාණය වෙන්නේ.මේ වෙනකොට ලංකාවේ විශාලතම ගිනිමැලය සකස් වෙන්නේ රුහුණු මහා කතරගම දේවාලයේ ගිනි පෑගීමේ චාරිත්‍රය වෙනුවෙන්. මේ වෙනුවෙන් නැකැත් වේලා සෑදීම සිදු කරන්නේ දේවාල කමිටුව.

මේ වසරේත් කාගෙත් අවධානය දිනා ගන්නා මහා ගිනි මැලය තරණය සිදු වූයේ 7 වැනි දා අලු‍යම කාලයේදී. ඒ සඳහා පේවී සිටි බැතිමතුන් 600 ක් පමණ වුණා. ගිනි පෑගීමෙන් අදහස් කරන්නේ පුරාණයේ පැවති අග්නි පූජාවේම එක්තරා විධියක්. කතරගම උත්සව සමය අවසානයේ “ගිනි දෙවියන්” පිදීම ලෙසත් මේ චාරිත්‍රය හැදින්වෙනවා.

සෑම දෙවි කෙනෙක් වෙනුවෙන්ම ගිනි පෑගීම සිදු කරනව ද?

ප්‍රධාන වශයෙන් ගිනි පෑගීමේ චාරිත්‍රය සිදු කරන්නේ කතරගම දෙවියන් මුල් කරගෙන.

ඊට පසුව පත්තිනි, කඩවර, සූනියම් දෙවියන්, ගම්භාර, දෙවොල්, යන දෙවිවරුන් මූලික කරගෙන ගිනි පෑගීම සිදු කරනු ලබනවා.

නදීශා අතුකෝරළ