කොටින්ට යළිත් එංගලන්ත භූමිය තහනම්


බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කිරීම කොරෝනා අලකලංචි හමුවේ පසුගියදා ඇසූ හොඳම ප්‍රවෘත්තිය වූයේය. 

 
2000 අංක 7 දරන එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ එරට රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත්කොට ඇති බව ද විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය. බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම්වරයාගේ මෙම තීරණය සිකුරාදා (3) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඇරඹි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට මුහුණ දීමට ලංකාවට ‌ධෛර්යය ලැබෙන කාරණයක් ද වනු ඇත. ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය තුළ නිරන්තරයෙන් අවි අමෝරා ගෙන සිටින විදෙස්ගත කොටි හිතවාදීන් මෙම පුවතත් සමග පසුබසිනු ඇත.   


බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ (POAC) තීන්දුවෙන් අනතුරුව ගනු ලැබූ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය මගින්, එක්සත් රාජධානිය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම ද මේ අනුව ප්‍රතික්ෂේප වූ බව ද විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.   


ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් සමඟ පවතින හවුල්කාරීත්වය ශ්‍රී ලංකා රජය අගය කරන අතර, පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනය කරන සහ ගෝලීය හා කලාපීය සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය අවම කිරීම සඳහා එක්සත් රාජධානිය සමඟ කටයුතු කිරීම සඳහා ද ශ්‍රී ලංකාව කැප වී සිටින බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.   
මේ වනවිට යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා වෙනත් රටවල් 30කට වැඩි සංඛ්‍යාවක මෙන්ම, එක්සත් රාජධානියේ ද එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතින්නේය. මෙම රටවල කොටි සංවිධානය මුලින්ම තහනම් කරන ලද්දේ, සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයන් ඉලක්ක කරගත් මෙම කණ්ඩායමේ කෲරත්වය සහ සාහසිකකම්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වීම සහ ගෝලීය හා කලාපීය ආරක්ෂාවට බලපාන වෙනත් අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙනි.   
එල්.ටී.ටී.ඊ. තහනම ලොව පුරා අඛණ්ඩව රඳවා තබා ගැනීම, එහි ජාත්‍යන්තර ජාලය හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීම, ප්‍රචණ්ඩ අන්තවාදය කරා තරුණයින් රැඩිකල්කරණය කිරීම සහ ජනවාර්ගික අසමගිය ඇති කිරීම සහ ඔවුන් ක්‍රියාශීලීව සිටින සෑම රටකම සාමූහික ජීවිතය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරන එම කණ්ඩායමේ අවශේෂ කොටස් විසින් එල්ල කෙරෙන අඛණ්ඩ තර්ජනය හඳුනා ගැනීමක් ද වේ.   


බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන පිළිබද අභියාචනා කොමිසම එරට එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කරන ලෙස නිර්දේශ නිකුත් කරනු ලැබුවේ පසුගිය වසර් ඔක්තෝබර් මාසයේදීය. ඒ සංක්‍රාන්තික දෙමළ ඊළාම් ආණ්ඩුව හෙවත් ටී.ජී.ටී.ඊ. නමැති බෙදුම්වාදී සංවිධානය කළ අභියාචනයක් සලකා බලමිනි. වී. රුද්‍රකුමාරන් නායකත්වය දෙන එම සංවිධානය තම ඉල්ලීම මගින් පෙන්වා දී තිබුණේ කොටි සංවිධානයට බ්‍රිතාන්‍ය රජය පනවා ඇති තහනම ස්වාධීන ඊළාම් රාජ්‍යයක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියට ලබාදුන් වැරදි අර්ථකථනයක ප්‍රතිඵලයක් බවය.   


කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග සිය ප්‍රීතිය පළ කරමින් නිවේදනයක් නිකුත් කළ ටී.ජී.ටී.ඊ. සංවිධානය ප්‍රකාශ කර සිටියේ එල්.ටී.ටී.ඊ. යනු නිදහස් විමුක්තිකාමීන් පිරිසක් මිස ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනු කල්ලියක් නොවන බවයි. කොමිසමේ නිර්දේශය පසුව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකළ අතර ශ්‍රී ලංකා රජයට මේ තීන්දුවට එරෙහිව කරුණු ඉදිරිපත් කළ හැකිවන්නේ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහාය. ඒ අනුව මෙරට විදේශ අමාත්‍යාංශය ඉකුත් වසරකට ආසන්න කාලය පුරා එල්.ටී.ටී.ඊයේ ඇති අමානුෂිකත්වය ගැන කරුණු තහවුරු කළේය.   


විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රිතාන්‍යයේ අභියාචනා කොමිසමේ තීන්දුව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොටි සංවිධානය තවමත් ත්‍රස්තවාදී මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් ප්‍රතිසංවිධානය වීමට දරන උත්සාහය ගැන සාක්ෂි සහිතව කරුණු පැහැදිලි කරන බවයි. දින 14ක් තුළ මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.   
ඊට අමතරව විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව නීතිමය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට සැලසුම් කරයි. එල්.ටී.ටී.ඊ. නමැති ත්‍රස්තවාදී සංවිධානය තවමත් සක්‍රීය බවට සාක්ෂි අධිකරණය වෙත යොමුකිරීම ඉන් එක් ක්‍රියාමාර්ගයකි.   


බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දස දහසකගේ අත්සන් සහිත පෙත්සමක් එරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම තවත් ක්‍රියාමාර්ගයක් විය. එමෙන්ම වත්මන් තර්ජනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ වෙබ් සමුළුවක් පැවැත්වීමට ද ලන්ඩනයේ විදෙස්ගත ශ්‍රී ලාංකික සංවිධාන කටයුතු කළේය.   
ඉකුත් ඔක්තෝබර් මාසයේදී ‌කොටි ත්‍රස්තයින්ට පක්ෂව බ්‍රිතාන්‍ය කොමිසමේ තීන්දුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ශ්‍රී ලංකාව කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට නැවතීමේ තිත තැබූ බවයි.   


එහෙත් ඉතිරි වූ ත්‍රස්තවාදී බලවේග ලොව ඕනෑම රටකට තර්ජනයක් විය හැකි බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා, එල්.ටී.ටී.ඊ. තහනම දිගටම පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය උත්සුක වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.   


කෙසේ වුවද එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීමට ද මුලින්ම ඒකාරාශී වූයේ ඇමෙරිකාව, බ්‍රිතාත්‍ය ප්‍රමුඛ බටහිර රටවල්ය. කොටි සංවිධානය හමුදාමය අතින් පරාජය වුවත් එහි අන්තර්ජාතික ජාලය සහ මූල්‍ය ආධාර වැඩපිළිවෙළ තවමත් සක්‍රීයව පවතින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2015 වසරේ ජූනි 20 වැනිදා විශේෂ වාර්තාවක් නිකුත් කරමින් කියා තිබුණේ කොටින්ගේ තරම දන්නා නිසාය.   


ගෝලීයව ත්‍රස්තවාදය පැතිරෙන ආකාරය පිළිබඳ විමසුමක් කරන ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2014 වාර්තාවට අනුව කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් යළිත් පණගැන්වීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන දහනවයක් හඳුනාගත හැකිව තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇමරිකානු ආණ්ඩුව සමගින් ත්‍රස්ත විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක කරන නමුත් ගෙවී ගිය 2014 වසර තුළ ක්‍රියාකාරකම් සීමා වූ බව වාර්තාව පෙන්වා දී තිබිණි. ශ්‍රී ලංකාවේ මුල්‍ය ගනුදෙනුවල විනිවිද බව පිළිබඳ ගැටලු ඇති හෙයින් ත්‍රස්ත සංවිධානවලට ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට ඉඩ ඇති බව ද එමගින් පෙන්වා දෙන ලදී.   
ත්‍රස්තවාදයට එරෙහිව එක් ස්ථාවරයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා කවුන්සිලය විසින් 2001 දෙසැම්බර් 27 වෙනි දින සම්මත කරන ලද යෝජනාවක් ප්‍රකාර, 2006 දී යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කළේය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් 2009 මැයි මාසයේදී එල්.ටී.ටී.ඊය යුදමය වශයෙන් පරාජය කරන ලද නමුත්, මේ දක්වාම එම තහනම බලපැවැත්විණ.   
කෙසේ නමුත් හමාස් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානවලට එරෙහි තහනම 2014 දී යුරෝපා සංගමයේ පහළ අධිකරණයක් විසින් අවලංගු කරන ලදී. අදාළ සංවිධාන දෙකට එරෙහිව යුරෝපා සංගමය විසින් එම තහනම පනවනු ලැබ තිබුණේ දත්ත මත නොව මාධ්‍ය වාර්තා සහ අන්තර්ජාලයේ පළ වූ වාර්තා පදනම් කරගෙන බව පහළ අධිකරණයේ නිගමනය වී තිබුණි.   


එම තීන්දුවට එරෙහිව යුරෝපා කවුන්සිලය ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, 2017 ජූලි 26 සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් යුරෝපයේ ඉහළම අධිකරණය පහළ අධිකරණයේ තීන්දුව සනාථ කළේය. කෙසේ වුවද යුරෝපා සංගමය තුළ විධායක බලතල ක්‍රියාත්මක කිරීමේ නෛතික බලය පවතින්නේ යුරෝපා කොමිසම මත එබැවින් අදාළ පහළ අධිකරණ තීන්දුව බලාත්මක නොවිණි.   


දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තර ජාලයක් නිර්මාණය කළ බව නොදන්නා කෙනකු නැත. ලොව පුරා පැතිරුණු මාධ්‍ය ජාල මගින් සංවිධානය පිළිබඳ පුළුල් ප්‍රචාර ගෙන ගිය අතර එමගින් විශාල වශයෙන් අරමුදල් රැස්කර ගැනීමට සමත් විය. ලොව පුරා පැතිරුණු මහා පරිමාණ ව්‍යාපාර ඔවුන් සතු විය. එල්.ටී.ටී.ඊය සාර්ථකත්වය කරා ළඟා වුවද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය පිරිහීමට පත් වූයේය. පසුගාමී දෙමළ සමාජයක් නිර්මාණය කෙරිණි. එදා එල්.ටී.ටී.ඊය අසන්නට අකමැති වූ සහ ප්‍රතික්ෂේප කළ, එහෙත් යථාර්ථවාදී සත්‍යය එය විය.   


පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ යුද්ධය දශක ගණනක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාත්මකම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රට හැර යෑමය. උතුරු - නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහණයෙන් සියයට 48ක් වැනි ප්‍රමාණයකි. එල්.ටී.ටී.ඊය දෙමළ ජනයාගේ නැති වී ගිය අයිතිවාසිකම් නැවත ලබාදීමට සාර්ථක අඩිතාලමක් දමා තිබුණේ නැත. සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ප්‍රභාකරන් ක්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම සොල්ද‌ාදුවන් හට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිද්දෙන් තමන්ගේ සියලු බෝට්ටු විනාශ කළ ආක්‍රමණික ජනරාල්වරයකු පරිද්දෙනි. ඔහුට නැවත හැරී බැලීමක් නොවීය.   


මේ වනවිට ප්‍රභාකරන් හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ නොමැත්තේය. එහෙත් ඔහු විසින් දෙමළ ජනතාවට සිදු කළ මහා ව්‍යසනය බොහෝ කාලයක් ගතවන තෙක් නොමැකී පවතිනු ඇත. එහෙයින් රාජ්‍යයක් ලෙස අප හැමවිටම විමසිල්ලෙන් සිටිය යුතු වේ.   

 

 

තිළිණි ද සිල්වා