කූරගල පළමු සෙල් ලිපිය හොයාගත් රත්‍රංහාමි කියන කතා
රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කූරගල පුදබිම දැනට වසර හතරක පමණ සිට මෙරට වැඩියෙන්ම කතාබහට ලක්වූ ස්ථානයකි. වසර පනහකට අධික කාලයක සිට බොහෝ දෙනෙක් මෙකී කූරගල පුදබිම පිළිබඳව විවිධ මති මතාන්තර අදහස් ගෙනහැර පෑහ.
1970 දශකයේ සිට කූරගල යළි බෞද්ධයන්ට අත්පත් කර දීමේ පුරෝගාමීයා වූ අපවත් වී වදාළ පූජ්‍ය වටද්දර ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ට අනුව ද විෂය ප්‍රාමාණික විද්වතුන්ට හා
පර්‌යේෂකයන්ට අනුව ද - මෙය ප්‍රාග් ඓතිහාසික මානවයා විසූ භූමියක් මෙන්ම අනුරාධපුර අග භාගයට අයත් අතීත රෝහණ රාජ්‍යයේ මහරහතන් වහන්සේලා වැඩ සිටි අරණ්‍ය සේනාසනයකි.
ඒ කෙසේ වෙතත් කූරගල පිළිබඳ මෙතෙක් නො ඇසූ අප්‍රකට කතා පුවතක් පිළිබඳ හෝඩුවාවක් වැලිපත විල්ලාර ගම්මානයෙන් අසන්නට ලැබුණි. කාරණාව අප වෙත සනාථ කළේ දම්වැල්ඕඩය රජමහ විහාරාධිපති වැලිපත පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේය.
ඒ අනුව අපි පසුගිය දිනක විල්ලාර අභිනවාරාම විහාරස්ථානය අසල ඇති නිවසකට ගොඩවුණේ - ඒ අප්‍රකට කතා පුවත අසා දැන ගැනීමටය. නිවැසියන් විසින් අපව ගෞරවයෙන් පිළිගැනීමෙන් පසු - එම නිවසේ සිටි වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨතමයා සමග එළිමහනට පැමිණ අපි කතාබහ ආරම්භ කළෙමු.
“සීයේ.... අපට මුලින්ම සියාගේ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ....සීයාගේ නම, ගම එක්ක ළමා කාලයේ විස්තර ටිකක්....”
“මගේ දැන් නම උඩහවත්තේ රත්‍රංහාමි. ඉපදුණේ 1933 අප්‍රේල් මාසේ 11 වෙනිදා. දැන් අවුරුදු 92ක් වෙනවා. උපන් ගම තංජම - ඒ කියන්නේ දැන්නම් තැන්ජන්තැන්න. එය කූරගලට ආසන්නම ගම. ඉස්කෝලේ ගියේ තන්ජන්තැන්න විද්‍යාලයට. එතකොට ඉස්කෝලෙ තිබුණෙ තැන්නෙ පංසලේ . මම ඉස්කෝලෙ ගියේ හයේ පංතියට විතරයි. අපේ තාත්තා මට අවුරුදු 10ක් වෙනකොට මියගියා. ඒ නිසා ඉස්කෝලෙ යන්න වියදම් කරන්න කෙනෙක් හිටියෙ නැහැ. අපේ පවුලෙ මල්ලිල දෙන්නයි නංගිල දෙන්නයි හිටියේ.”
“ඔය අතරෙ අපේ මාමා මාව කල්තොටට එක්ක ආවා. මාමත් එක්ක මම කුඹුරු වැඩ කළා. ඔය අතරෙ මම ගෙයක් හැදුවා, කොළොම්මඩ. 1953 දි මම වැලිගෙපොලින් විවාහ වුණා. මගේ හාමිනේ පී. වී. සුභරත්න මැණිකේ. එයා දැන් මියගිහින් අවුරුදු දෙකක් වෙනවා. මගේ දරුවො හත් දෙනයි. හත් දෙනාම පිරිමි ළමයි. ඉන් හතර වැනියා තමයි ඔය දම්වැල්ඕඩය පංසලේ මහණවෙලා ඉන්නේ.”
“ අපිට කියන්නකෝ.... කූරගල ගැන වැඩිය කට්ටිය දන්නෙ නැති.... සීයා විතරක්ම වගේ දන්නවා කියන.... ඉතිහාස කතාන්දරේ...”
“මම ඉස්කෝලෙ යන කාලෙ දවසක් මහ විශාල බස් එකක් අපේ ඉස්කෝලෙ ළඟට ආවා. ඉස්කෝලෙ තිබුණෙ පන්සලේ කියල මම කිව්වනේ. හැට හැත්තෑවක විතර පිරිසක් බස් එකෙන් බැහැලා වෙහෙර ළඟට ආවා. එතකොට වෙලාව දවල් දොළහට දොළහ හමාරට විතර ඇති. බළන්ගොඩ ඉඳල එන්න ඒ කාලේ හරි හමන් පාරක්වත් නෑ. කොහොම ආවද මන්දා ඒ බස් එක. මේ පිරිසේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ එක්ක තව හාමුදුරුවරු, පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයා එක්ක තවත් මහත්තුරු , පොලිස් නිලධාරින් ඉන්නා බවයි ඒ වෙලාවේ පන්තියේ උගන්වමින් උන්නු ඉස්කෝලෙ මහත්තයා අපට කිව්වෙ.”
“අපේ ඉස්කෝලෙ ලොකු මහත්තයා බස් එකෙන් බැහැලා ආපු කට්ටිය ගාවට ගිහින් ඇහැව්වා මොකද කියල. ඒ අය කිව්වා අපි කූරගල යන්න ආවෙ කියල. එහෙම කියලා ඒ ගොල්ලෝ ගමන් ඇරඹුවා. වෙනදට වඩා පොඩ්ඩක් කලින් ඉස්කෝලෙත් ඇරියා. ඉස්කෝලෙත් කලියෙන් ඇරිය නිසා මටත් හිතුණා කට්ටිය පස්සෙ වැටිලා කූරගල ගියොත් හොඳයි කියල. කූරගල පැත්තෙ ඔය කැලෑවෙ ගිහින් අපිට හොඳට පුරුදු උනත් කට්ටිය පස්සෙ වැටිලා යනකොට විනෝදයක් තියෙනවනේ.”
“යන්න හරියට පාරක්වත් නැහැ. මහ කැලෑව මැදින් යන්න තියෙන්නෙ ගල් ගොඩවල් උඩින්. මට එතකොට අවුරුදු 13ක් විතර ඇති. ඒ කියන්නෙ 1946 විතර. එදා මේ ගිය කණ්ඩායම කූරගල කැලෑවෙ ඇවිදල ඇවිදල සෙල් ලිපි තියෙන්නෙ කොහෙද කියල තමයි බැලුවෙ. කාටවත් එකක්වත් හොයාගන්න බැරි වුණා. එතකොට හවස හතර විතර ඇති. පරණවිතාන මහත්තයා මඩිහෙ හාමුදුරුවොත් එක්ක කිව්වා - ’දැන්නම් වැඩක් නැහැ. අපි යමු ආපසු යන්න’ කියල. මේ ගමන මට හිතුණ මම කලින් ආපු වෙලාවක දැකල තිබුණු ගලේ අකුරු කොටල තියෙන තැන පෙන්නන්න ඕනැ කියල. මම ඇහුවා ගලේ අකුරු කොටපු තැනක් මම දන්නවා, පෙන්නන්න ද කියල. හැමෝම කැමති වුණා. මම එතැනට ගිහින් ඒක පෙන්නුවා. ඒකෙ අකුරු පේළි දෙකක් පෙන්නුවා. කොහොමද ඔය ළමයා මේක දන්නෙ කියල ඒ අය ඇහැව්වා. මම කිව්වා අපි මෙතනට නිතර එනව ඒ ආපු වෙලාවක දැකල තිබුණා කියල.”
“බොහොම හොඳයි, බොහොම හොඳයි, කියල ඒ ගලේ කොටපු අකුරු ටික පරණවිතාන මහත්තයා කියෙව්වා. මම ඇහැව්වා ඕකෙ මොකක්ද කියල තියෙන්නෙ කියල. එතුමා කිව්වා “පරුමක ශුමනහ”කියල තියෙන්නෙ කියල. මම කිව්වා ඕක සිංහලෙන් කියන්න කියල. ‘ප්‍රධාන සුමන මහා සංඝරත්නයට ගල්ලෙන පූජා කළ බව’ යි ඒකෙ තේරුම කියල එතුමා කිව්වා. එදා තමයි කූරගල පළමු සෙල් ලිපිය හොයා ගත්තු දවස.
ඒකෙ මුල මම තමයි.”
“බලන් ගියාම කූරගල මුල්ම සෙල්ලිපිය පරණවිතාන මහත්තයාට පෙන්වල තියෙන්නෙ සීයා....හැට හැත්තෑවක් දෙනා හෙව්වත් හම්බවෙලා නෑ. හරි පුදුමයි නෙ.”
“පුදුම වෙන්න දෙයක් නෑ. ඕක කොටන්න ඇත්තෙත් මම තමයි. වළගම්බා රජ කාලෙ මම ඉඳල තියෙනවා. අපේ පරම්පරාවෙ අය මෙහේ ඉඳල තියෙනවා. ඒ ලිපිය තියෙන තැනට කාටවත්ම යන්න බැහැ - කුරුල්ලෙකුට හැර . අපේ පරම්පරාවෙ වාසගම - ’අකුරු ඇන්න මුදියන්සෙලාගේ.’ ගල්වල අකුරු කොටපු අය තමයි අපේ කට්ටිය. කූරගල සෙල් ලිපිය පෙර ආත්මයකදි කොටන්න ඇත්තෙ මම. ඒකයි මටම ඕක හොයාගන්න පුළුවන් වුණේ. අපි ඕව කරල තියෙන්නේ ආතා, මුත්තා, කිත්තා ගෙ කාලෙ ඉඳලායි.”
“ඉතින් දැන් සීයාගේ වාසගම උඩහවත්තෙ කියලනෙ තියෙන්නෙ. අකුරු ඇන්න මුදියන්සෙලාගේ කියල නෙමෙයිනෙ.....”
මම ප්‍රශ්න කළෙමි.
“ඔව් ඒක හරි. අපේ ඒ වාසගම ඒ කාලෙ හිටපු ආරච්චි මහත්තුරු තමයි වෙනස් කළේ. ඒ අයගෙ උවමනාවට. ඒව ඒ අයට දාගෙන අපේ වාසගම උඩහවත්තේ කියල දැම්මා. ලොකු ආරච්චි මහත්තයාට හැමෝම හරි බයයි. ඒ ගැන ප්‍රශ්න කරන්න යන්නෑ කවුරුවත්.ඒ වුණාට ඒව කැත වැඩ.”
රත්‍රංහාමි සීයාගෙන් කූරගල පිළිබඳ සැඟවුණු අප්‍රකට මේ කතා පුවත අසා දැනගත් අපි පුදුමයට පත්වීමු . මෙතෙක් කිසිවෙකු ගෙන් අසා නොතිබුණු මෙම කතාන්දරය පිළිබඳ විමසීම බුද්ධිමත් ඔබට භාරය.
කල්තොට -
බුදුගල සෝමරතන හිමි