කුංචුට්ටුවේ නොසිඳෙන දිය උල්පත්


“කුංචුට්ටු කෝරලේට ගිය ගමනක්” ලෙස කොටස් වශයෙන් පළවන මෙම ලිපි මාලාවේ ‍සිවුවැනි කොටස මෙසේ දිග හැරෙන අතර, කුංචුට්ටුවේ මිනිසුන් ගේ සහ සතුන් ගේ විවිධ අවශ්‍යතා සංසිඳුවාලීම සඳහා එම ප්‍රදේශය වටා පිහිටා ඇති දිය උල්පත් ගවේශනය කිරීමෙන් ලබා ගන්නා ලද තොරතුරු මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නෙමු.

“උල්පත් බලන්න යනවා නම් මල්ලි එක්කන් යන්න හොඳම කෙනා තමයි අපේ චූටියා. මිනිහට ඒ ගැන හොඳ වැටහීමක් තියනවා. මොකද එයා සිවිල් ආරක්ෂකනෙ. එයා ඔය හැම තැනකම හොඳට කරක් ගහලා තියෙනවා. අද හවහට අපි පොඩි වචනයක් දාලා බලමු හෙට උදේ අපිත් එක්ක උල්පත් බලන්න යමු කියලා. ඔයාලා කිව්වොත් එයා නිවාඩුවක් දාලා හරි ඒවි.” යැයි කැලේ තුළට ගිය ගමන නිමා කර ආපසු නිවස බලා එද්දී සමන්ත අයියා කීවේ අපිට තවත් බලාපොරොත්තුවක් එක්කරමිනි.

ඒ පිළිබඳව සමන්ත අයියාගෙන් වැඩිදුරටත් විමසූ මටත්, මේනක අයියාටත් දැනගත හැකි වූයේ චූටියා නැතහොත් චූටයියා ගේ නම සම්පත් පියසිරි සමරසිංහ බවත්, සමන්ත අයියාගේ අසල්වැසියා වන ඔහු වෘත්තියෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු බවත්ය. කැළේ ගමන අවසන් වී ආපසු සමන්ත අයියලාගේ නිවසට පැමිණෙන විට ඔහුගේ බිරිඳ අප වෙනුවෙන් දිවා ආහාරය පිළියෙළ කර තිබූ අතර, එය බුක්ති විඳින අතරතුර සවස් වරුවේ වැවේ නෑමට යෑම සඳහා අපි කතිකා කර ගත්තෙමු.

ඉර බැස යන සවස් වරුවක වැ‍වේ ආරක්ෂා සහිත ‍ස්ථානයක දිය නෑමේ නිරත වන අතරතුර ද අපේ මාතෘකාව වූයේ ඉහත කී දිය උල්පත් සමූහය පමණක්මය. කුංචුට්ටු කෝරළයට නම ලැබී ඇත්තේ ද මෙම උල්පත් සමූහය නිසා බවත්, ඕනෑම නියං කාලයක වුව ද මෙම දිය උල්පත් නොසි‍ඳෙන බවත් එහිදී සමන්ත අයියා අප සමග කියා සිටියේය.

“ඉස්සර කාලේ මේ පළාතට කියලා තියෙන්නේ කුඩා උල්පත් කොරලය කියලා. මොකද‍ ‍මේ අවට උල්පත් 22 ක් තිබිලා තියෙනවා. අපි නම් දැකලා තියෙන්නේ කීපයයි, සේරම දැකලා නෑ. ඒත් හොයා ගෙන ගියොත් නම් සේරම බලාගන්න පුළුවන් වෙයි. මොකද අදටත් ඒවයෙ නටබුන් හරි ඉතුරු වෙලා තියෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නෙ. ඒ කාලේ කැළේ බණ භාවනා කරපු හාමුදුරුවරු, දඩයමේ ගිය උදවිය වගේම සතා සීපාවො පවා පිපාසෙ නිවා ගෙන තියෙන්නෙ ඔය කියන උල්පත් වලින්.”

වැවේ බැස ගෙන සිටි හෝරාව පුරා උල්පත් පිළිබඳව තමා දන්නා තතු අප සමග පැවසූ සමන්ත අයියා, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු චූටයියා ගෙන් දැනගත හැකි බවද අපට කියා සිටියේය. අඳුර වැටී ගෙන එද්දී චූටයියා වැඩ ඇරී නි‍වස වෙත එනතුරු මමත්, මේනක අයියාත් ඉතා නොඉවසිල්ලෙන් බලා උන්නේ ඔහුගෙන් මෙම උල්පත් සමූහය පිළිබඳව තව තවත් තොරතුරු දැන ගැනීමට තිබූ ආශාව හේතුවෙනි.

රාත්‍රී කාලයේ මමත්, මේනක අයියාත් කැටුව චූටයියාගේ නිවසට ගොඩ වැදුණු සමන්ත අයියා අප දෙදෙනාව ඔහුට හඳුන්වා දුන් නමුත්, මින් පෙර කිහිප වරක් එහි ගොස් තිබූ ‍මේනක අයියා නම් චූටයියාට අමුත්තෙක් නොවීය. ඉතා උණුසුම් අයුරින් අප පිළිගත් චූටයියා පසුදින අප සමග උල්පත් බැලීමට යෑමට එකඟ විය. එහිදී අපව සිංහයා උල්පත, කුංචුට්ටු උල්පත සහ කැබිතිගොල්ලෑව උල්පත යන උල්පත් 3 ටම රැගෙන යෑමටද ඔහු පොරොන්දු විය.

එතැන් පටන් කහටගොල්ලෑව ගම්මානයේ ගත කළ දෙවැනි රාත්‍රිය ද අපට තවත් අමතක නොවන රාත්‍රියක් වූ අතර චූටයියලාගේ නිවසේදී ද සුපුරුදු පරිදි වැව් මාළු බැදුම සහ ගම්වලටම ආවේණික වූ තවත් රසවත් කටගැස්ම කිහිපයක් සමග දොඩමලු වීමේ අවස්ථාව අපට උදා විය. චූටයියා සිවිල් ආරක්ෂක නිලධාරියකු වූ බැවින් එදින රාත්‍රියේ අපට යුද සමයේ එම ප්‍රදේශවල සිදුවූ බව කියන ඉතා දුක්ඛිත සිදුවීම් පිළිබඳව ද දැනගත හැකි විය.

පාන්දර 2 ට පමණ නිමා වූ එම සුහද හමුවෙන් පසුව යළිත් සමන්ත අයියලා ගේ නිවසට පැමිණ, රාත්‍රී ආහාර වේල ලබාගෙන නිදා ගැනීම සඳහා ඇඳට පැමිණි නමුත් මගෙත්, මේනක අයියාගේත් කතා බහ නිමා නොවීය. නින්ද පසෙක තබා මා ඔහුගෙන් විමසා සිටියේ කුඩා උල්පත් කොරලය කුංචුට්ටු කෝරලය බවට පත්වූයේ කෙසේ ද යන්නය. මින් පෙර කිහිප වරක්ම මේ ප්‍රදේශයේ කරක් ගසා ඇති බැවින් මේනක අයියා ඒ පිළිබඳව යමක් දන්නවා යැයි මට සිතිණ.

“උඹත් මේ වෙලාවෙම ඕක අහන්න තියා ගත්තනෙ මල්ලි. දැන් නම් හොඳටම නිදිත් මතයි බං. කමක් නෑ එහෙනම් අහ ගනින්කො. කුංචුට්ටු කියන්නෙ දෙමළ වචනයක්. ඒක හැදිලා තියෙන්නෙ කුංචු + උත්තු කියන වචන දෙක එකතු වෙලා. කුංචු කියන්නෙ කුඩා කියන එක. උත්තු කියන්නෙ උල්පත් කියන එක. එ‍් විදියට තමයි කුඩා උල්පත් කියන සිංහල නමට කුංචුට්ටු කියන සන්ධි වුණු දෙමළ නම ලැබිලා තියෙන්නෙ.” යැයි වෘත්තියෙන් සිංහල භාෂා ගුරුවරයකු වූ මේනක අයියා‍ මට පැහැදිළි කර දුන්නේය.

රැය පහන් වූ වහාම උදෑසන ආහාරය ලබාගත් අපි සමන්ත අයියා සහ චූටයියා ද සමග සජන මල්ලී ගේ බට්ටා ලොරි රථයේ නැග උල්පත් සොයා යෑමේ ගමන ඇරඹුවෙමු. ඉහත කී උල්පත් 22 න් ප්‍රධානතම උල්පතක් වූ ‘සිංහයා උල්පත’ එහිදී අපගේ පළමු ගමනාන්තය විය. ‍සමන්ත අයියලා ගේ නිවස පිහිටි කහටගොල්ලෑව ගම්මානයේ සිට කණුගහවැව ගම්මානය කරා යන මාර්ගයේ සිංහයා උල්පත පිහිටා තිබූ බැවින් එය එතරම් අසීරු ගමනක් නොවීය.

සිංහයා උල්පත

කහටගොල්ලෑවේ සිට කිලෝ මීටර් 3 ක් පමණ කැබිතිගොල්ලෑව නගරය දෙසට ගමන් කරන විට හේරත් හල්මිල්ලෑව ගම්මානය හමුවන අතර එතැන් සිට තවත් කිලෝ 3 ක් පමණ කණුගහ වැව ගම්මානය දෙසට ගමන් කරන විට පාරේ වම් පස මෙම සිංහයා උල්පත පිහිටා තිබිණි. ඒ අසලට ගිය අපට දැකගත හැකි වූයේ එය සිංහයකු ගේ හිසකින් සහ කුඩා ජල ටැංකි දෙකකින් සමන්විත වන බවත්, සිංහයා‍ගේ මුඛයෙන් ජලය ගලා ‍එන ලෙස එය ඉදිකර තිබූ බවත්ය.

අප එහි යන විටත් යම් පිරිසක් ලොරි රථ දෙකකින් පැමිණ කිසියම් කටයුත්තක් සඳහා කුඩා ජල තටාක දෙකෙන් ප්ලාස්ටික් ටැංකි දෙකකට ජලය පුරවා ගනිමින් සිටියෝය. කෙ‍තරම් ජලය ගලා ගිය ද, සිංහයාගේ මුඛයෙන් ජලය වෑහීමේ කිසිදු අඩුවක් අපිට දක්නට නොලැබිණ. ඒ අසල පිහිටි කුඩා ජල ටැංකි දෙක ගම්වාසීන් ස්නානය කිරීම සඳහා ද යොදා ගන්නා බවට එහිදී අපට කරුණු අනාවරණය විය.

මෙම උල්පත් ජලය ඒ අවට ගම්වල මිනිසුන් එදිනෙදා ජීවන කටයුතු සඳහා යොදා ගන්නා සේම වර්ෂාව අඩු කාලයන්හි දී ගොවිතැන සඳහා ද යොදා ගන්නා බව එහිදී චූටයියා අප සමග කියා සිටියේය. තවද රජ සම‍යේ මෙම උල්පත පිහිටි ස්ථානය ඉදිකිරීමේ දී සිංහයාගේ මුඛ‍යේ ජලය වෑහෙන ස්ථානයේ මැණිකක් සවිකර තිබූ බවටද, පසුකාලීනව නිදන් හොරු විසින් එම මාණික්‍යය සොරා ගෙන ඇති බවටද කතා පවතින බව අපට දැනගත හැකි විය.

එම ස්ථානයෙන් පිටත් වීමට පෙරාතුව සිංහයා උල්පතෙන් සිසිල් දිය දෝතක් පානය කිරීමට අමතක නොකළ මමත් මේනක අයියාත්, දිය පානය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි කුරුල්ලන්ගේ ඡායාරූප ගැනීමට ද පියවර ගත්තෙමු. කෙසේ වුවත් ඒ අවට තරමක් සැරිසරමින් එම ස්ථානයට ජලය ගලා‍ එන උල්පතේ කොනක් සොයාගැනීමට අප ගත් උත්සාහය නම් අසාර්ථක විය.

කුංචුට්ටු උල්පත

ඉන් අනතුරුව අපි අපගේ දෙවැනි ගමනාන්තය වූ කුංචුට්ටු උල්පත කරා යෑම සඳහා යළිත් ලොරි රථයට ගොඩ වූයෙමු. කෙසේ වුවත් කුංචුට්ටු උල්පත අසලටම ලොරි රථයේ ගමන් කිරීමට නොහැකි වූ බැවින් අපට යම් දුරක් පයින් ගමන් කිරීමටද සිදුවිය. සිංහයා උල්පත පිහිටි ස්ථානයෙන් පිටවී නැවතත් කණුගහ වැව ගම්මානය දෙසට පැමිණෙද්දී, විහාර හල්මිල්ලෑව පන්සල හමුවන අතර එතැන් පටන් ගුරු පාරක් ඔස්සේ කුංචුට්ටුව ගම්මානයට යන මාර්ගයේ වම් පස මෙම කුංචුට්ටු උල්පත පිහිටා තිබිණි.

කුංචුට්ටුව උල්පත, සිංහයා උල්පත මෙන් පෞරාණික නටබුන්වලින් සමන්විත නොවීය. පානය කිරීම සඳහා ජලය ලබා ගැනීමට එක් ස්ථානයකින්ද, ස්නානය කිරීම සඳහා තරමක් විශාල ජල තටාකයකින් ද එය සමන්විත විය. අප එහි යන විටත් පිරිසක් ස්නානය කරමින් සිටි බැවින් ජලය ලබාගැනීමට ඇති ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වැඩි වේලාවක් එහි රැඳී නොසිට එතැනින් පිටවීමට අපි තීරණය කළෙමු.

කැබිතිගොල්ලෑව උල්පත

කුංචුට්ටු උල්පත නරඹා ගුරු පාර ඔස්සේ යළිත් විහාර හල්මිල්ලෑව පන්සල අසලට පැමිණි අප, එතැන් සිට කැබිතිගොල්ලෑව බලා පිටත් වූයේ අපගේ මීළඟ ගමනාන්නතය වූ කැබිතිගොල්ලෑව උල්පත කරා ලඟා වීමේ අරමුණෙනි. කැබිතිගොල්ලෑව - වව්නියා පාරට පිවිස කැබිතිගොල්ලෑව මධ්‍ය මහ විද්‍යාලය අසලට පැමිණි අපට, ඊට යාබදව පිහිටි අතුරු පරක් ඔස්සේ කැබිතිගොල්ලෑව වැව දෙසට යෑමේදී පාරේ වම් පස කැබිතිගොල්ලෑව උල්පත හමුවිය.

කැබිතිගොල්ලෑව උල්පත ද කුංචුට්ටු උල්පත මෙන්ම කිසිදු පෞරාණික ලක්ෂණයන් ගෙන් සමන්විත නොවූ අතර, ජලය ලබාගැනීම සඳහා වෙනමත්, ස්නානය කිරීම සඳහා වෙනමත් ස්ථාන වෙන්කොට ද නොතිබිණ. එහි තරමක් උස ජල ටැංකියක් දක්නට ලැබුණු අතර, ජලය ලබාගැනීමට සහ ස්නානය කිරීමට එන උදවිය බාල්දියක් භාවිත කරමින් එම ටැංකියෙන් ජලය ඉවතට ගන්නා අයුරු අපට දැකගත හැකි විය.

මෙහි විශේෂත්වය වන්නේ මෙම උල්පත් තුනම එකම කඳු වැටියක පිහිටා තිබීමත්, ඕනෑම කාල වකවානුවක ජලය නොසිඳී තිබීමත් යැයි එම උල්පත් නැරඹීම සඳහා අපව කැටුව ගිය චූටයියා කියා සිටියේය. මෙම උල්පත් 3 ට අමතරව තවත් උල්පත් 19 ක් කුංචුට්ටු කෝරළය තුළ පිහිටා තිබුණද, උල්පත් අතර ඇති දුර සහ එම ගමන වැය වන කාලය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව උල්පත් සොයා ගිය ගමන එතැනින් නිමා කිරීමට අපි පියවර ගත්තෙමු.

කෙසේ වුවත් ආපසු සමන්ත අයියලාගේ නිවෙස කරා පැමිණීමේ දී සෙසු උල්පත් ආශ්‍රිත කතා බොහොමයක් මටත්, මේනක අයියාටත් අසන්නට ලැබුණි. චූටයියා සහ සමන්ත අයියා පැවසූ එම කතා අතර බණ්ඩාර උල්පත, ගරිඳ උල්පත, දඹගහ උල්පත, කලවැදි උල්පත, ගෝනමැරියාව උල්පත, කණුගහ උල්පත, කොට උල්පත, කඩා වැටිච්ච උල්පත, පරගහ උල්පත සහ කුරුල්ලන් උල්පත ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය.

“උල්පත් නම් තියෙනවා මල්ලි ගොඩක්. ඕවට එක්කර ගෙන යන්න වෙලාව නෙ නැත්තෙ. හැන්දෑ වෙන්න කලින් ගමට ගියොත් මේ උල්පත් වල වතුර ටික ගොවි තැනට යොදා ගන්නෙ කොහොම ද කියලා දැනගන්න පුළුවන් තැනකට මල්ලිලව එක්කරගෙන යන්නයි මං හිතාන ඉන්නෙ. ඒවා ඉතින් හොඳටම දන්නෙ හේන් ගොවියොනෙ. මේ පළාතේ මිනිස්සු ගොවිතැන් කරන විදිය ගැනත් මල්ලිලට හුඟක් දේවල් දැනගන්න පුළුවන් වේවි එයා ගෙන්.”

ආපසු නි‍වස බලා එද්දී සමන්ත අයියා මටත්, මේනක අයියාටත් අලු‍ත් බලාපොරොත්තුවක් ලබා දුන්නේ එලෙසිනි. කුංචුට්ටුවේ ‍මිනිසුන් කුඹුරු ගොවිතැන් සහ හේන් ‍ගොවිතැන් වල නිරත වන ආකාරයත්, එහිදී ඔවුන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳවත්, එම ගැටලු‍ විසඳා ගැනීම සඳහා ඔවුන් අනුගමනය කර ඇති පියවර සම්බන්ධවත් තොරතුරු රැසක් ලබන සතියේ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

චානුක අරවින්ද