අලුත්ම පිළිලය ඊ-සිගරට්ටුව
ඉන්ටර්නෙට්, ඊ-කැෆේ, ඊ-මේල් කිවහොත් ඒ සියල්ල අන්තර්ජාලය සමඟ සම්බන්ධ බව එකවර වැටහෙනු ඇත. එහෙත් ඊ-සිගරැට් කියන්නේ අන්තර්ජාලය සමඟ කිසිදු සම්බන්ධයක් නැති ද්‍රව්‍යයකි. ඉලෙක්ට්‍රික් කේතලය, ඉලෙක්ට්‍රික් ඉස්ත්‍රික්කය, ඉලෙක්ට්‍රික් රයිස් කුකරය යැයි අසන්නට ලැබුණහොත් ඒ විදුලි උපකරණ බව ද ඕනෑම කෙනෙක් වටහා ගනු ඇත. එහෙත් ඉලෙක්ට්‍රොනික් සිගරැට් යනු විදුලි සිගරැට්ටුවක් නම් නොවේ.
ඊ කිව්වාට අන්තර්ජාලයට සම්බන්ධයකුත් නැති ඉලෙක්ට්‍රොනික් කිව්වාට විදුලියට සම්බන්ධයකුත් නැති මොකක් ද මේ ඊ නොහොත් ඉලෙක්ට්‍රොනික් සිගරැට්ටුව?
මෙය බැටරියක බලයෙන් ක්‍රියාත්මක වන නිකොටින් සහිත දියරයක් අඩංගු කුඩා ටැංකියක් සහිත උපකරණයකි. සිගරැට්ටුවේ අග කුඩා බල්බයක් පවතින අතර එය ක්‍රියාත්මක වනවිට බල්බය දැල්වේ. සිගරැට්ටුව තිබෙන බොත්තමක් ස්පර්ශ කර එය ක්‍රියාත්මක කළ හැකි අතර ආරම්භයේදීම එහි අග පවතින බල්බය නිල් පැහැයෙන් දැල්වේ. ඉන් පසු එය රතු පැහැයට හැරේ. සිගරැට්ටුව ඉරීම ආරම්භ කළ පසු බැටරියේ බලයෙන් වාෂ්පීකරණයට ලක්වෙන නිකොටින් සහිත දියරය ෆිල්ටරයෙන් පෙරී නිල් පැහැ දුමාරයක් සේ දුම්බොන්නාගේ මුඛයට ඇතුළු වේ. සාමාන්‍ය සිගරැට්ටුවක මෙන් බාහිර පරිසරයට දුමක් පිටවෙන්නේ නැත. මෙය ඇදුම පවතින්නකු, නැතහොත් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන්නකු භාවිත කරන වේපරයිසරයක් වැනිය. දියරය අවසන් වූ පසු එය යළි පුරවා ගැනීමට හැකිය.
මෙම සිගරැට්ටුව මුලින්ම නිෂ්පාදනය කර තිබෙන්නේ චීන ජාතික ඖෂධවේදියකු වන හොන් ලික් විසිනි. ඒ දුම්වැටියට විසඳුමක් ලෙසය. දුම්පානයෙන් තරුණ පිරිස් ඈත් කිරීමට මෙය ඉවහල් වනු ඇතැයි යන්න ඔහුගේ අදහස වී ඇත. එම සොයා ගැනීම අනුව 2004 සිට වෙළෙඳපොළට නිපදවූ චින ඊ සිගරැට්ටුව ලෝක වෙළෙඳපොළත් ආක්‍රමණය කරන්නට සමත් විය. මේ වනවිට ඔවුන් ඊ සිගරැට් වර්ග 460ක් පමණ වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
ඊ සිගරැට්වල නිකොටින් බහුලව අඩංගු වන අතර ප්‍රොපලින්, ග්ලයිකෝල් හා ග්ලිසරින් ද අඩංගු වේ. සාමාන්‍ය සිගරැට්වල අඩංගු කාබන්, තාර, කාබන් මොනොක්සයිඩ් ඊ සිගරැට්වල අඩංගු නොවේ. එහෙත් මේ නිකොටින් දියරයේ ද බැරලෝහ වර්ග එනම් ක්‍රෝම්, ඊයම් හා නිකල් ද පිළිකා ඇති කරන ෆෝමල්ඩිහයිඩ් වැනි රසායනික ද පෙණහලු අක්‍රිය කළ හැකි ඇක්සොලින් ද අඩංගු විය හැකි බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය පෙන්වා දී තිබේ. මෙහි අඩංගු ඩිසිටයිල් නමැති රසායනිකය පෙණහැල්ලට නිරාවරණය වීමෙන් ඒවා ඉදිමීමට ලක්වන බව වෛද්‍යවරු පවසති. එය සුවනොවන මාරාන්තික රෝගී තත්ත්වයක් ඇති කරනු ඇත. දුම්කොළ සිගරැට් භාවිතයෙන් තරම් පිළිකා ඇති කිරීමේ අවදානම නැතත් කිසිසේත් පිළිකා ඇතිවිය නොහැකි යැයි පැවැසිය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා 2016 දී පෙන්වා දී තිබේ.
මේවා නිපදවන්නන් හා එයට පොළඹවන්නන් තුළ පවතින්නේ දුම්කොළ සිගරැට් භාවිතයෙන් එයට ඇබ්බැහි වූවන් මුදවා ගැනීමට ඊ සිගරැට් යොදාගත හැකි වනු ඇති බවය. එහෙත් ඒ මතය එලෙසින්ම පිළිගත නොහැකි බව රටවල් ගණනාවක අත්දැකීම් අනුව පැහැදිලි වේ.
ඊ සිගරැට්වලින් දුමක් පිට නොවන නිසා එය පාසල් සිසුන් හා කාන්තාවන් අතර ද බරපතළ ලෙස පැතිරෙමින් තිබේ. 2016 වනවිට එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් 3.2%ක් ඊ සිගරැට්වලට ඇබ්බැහී වී ඇත. පාසල් යන වයසේ එනම් උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් අතර 2011 සිට 2015 දක්වා කාලය තුළ 900%න් ඊ සිගරැට් භාවිතය ඉහළ ගොස් තිබේ. ඔවුන් දිගටම ඊ සිගරැට් භාවිත නොකළ ද එක් වරක් හෝ එය භාවිතා කර ඇත. ඊ සිගරැට්වලට යොමු වූ අවුරුදු 18-24 අතර තරුණ තරුණියන්ගෙන් 40ක් ඊට පෙර කිසිදු ආකාරයකින් සිගරැට් භාවිත නොකළ අය බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඊ සිගරැට්වලට යොමු වූවන් එයින් මිදී යාමේ ප්‍රවණතාව අඩු බව ද එම සමීක්ෂණවලින් හෙළි වී තිබේ. ඊ සිගරැට් භාවිත කරන්නන් තුළ එහි අඩංගු ඇතැම් විෂ රසායනික නිසා වමනය, කැරකිල්ල මෙන්ම සමේ කැසීමක් ද ඇති විය හැකිය. ඊ සිගරැට් භාවිත කරන්නට පෙළඹෙන්නකු එයට ඇබ්බැහි විය හැකි අතර බොහෝ විට දුම්කොළ සිගරැට්වලට යොමුවේ. සමහරවිට මේ දෙකම භාවිත කරන්නට පෙළඹෙනු ඇත. එය දුම්කොළ සිගරැට්ටුව පමණක් භාවිත කිරීමෙන් සිදුවිය හැකි හානිය දෙගුණ කරනු ඇත. කාන්තාවන් අතර ප්‍රචලිත විය හැකි බැවින් මෙම සිගරැට්ටුව ගර්භනී සමයේදී භාවිත කළහොත් දරුවාට හානිකර ලෙස බලපානු ඇත. මෙයින් පෙණහලු පිළිකා මෙන්ම හදවත් රෝග ද ඇති කළ හැකි බව මේ වනවිට සොයාගෙන තිබේ.
වැඩිපුරම මේවා අලෙවි වුණේ ඇමෙරිකාවටය. එහෙත් මේ වනවිට ඇමෙරිකාවත් තායිවානයත් ඇතුළු රටවල් ගණනාවක් ඊ සිගරැට් සීමා කිරීම ගැන අවධානය යොමු කර තිබේ. එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ඊ සිගරැට් භාවිතය වැළැක්වීම සඳහා ප්‍රචාරක කටයුතු අරඹා ඇති අතර මේවා අලෙවිය සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීමට ද කටයුතු කරමින් සිටියි. පසුගිය කාලයේ ඊ සිගරැට් ගෙන්වනු ලබන සමාගම් පහකට අවවාදාත්මක ලිපි නිකුත් කර ඇති එම ආයතනය ඒවා පිළිනොපැද්දහොත් දැඩි පියවර ගැනීමට සූදානම් බව ද පවසා ඇත.
අපට මේ ඊ සිගරැට් ගැන කතා කිරීමට සිදුවෙන්නේ ඇයි? ලංකාවට ද හොර රහසේම ඊ සිගරැට් ගෙන්වීම දැන් දැන් වැඩිවෙමින් පවතී. කොළඹ හතේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසල නිවෙසක මෙම සිගරැට් හොර රහසේ සඟවාගෙන විකුණන බවට ලද තොරතුරකට අනුව සුරාබදු නිලධාරීහු එම නිවෙස වැටලූහ. එහිදී ඊ සිගරැට් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබිණ.
පොලිසිය පවසන්නේ ඊ සිගරැට් අලෙවිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවය. ඒ නිසා ඇමෙරිකානු රජය අනුගමනය කරමින් අපට ද නව නීති හඳුන්වා දිය යුතුව තිබේ. එසේ නොවන්නේ නම් අපේ තරුණ තරුණියන් තවත් අලුත් යක්ෂයකුගේ ගොදුරු වනු නිසැකය. පසුගිය කාලය තුළ මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ පවා මත්වීමට භාවිත කළ අතර පසුව ඒවා වෙනත් විෂ ද්‍රව්‍යයන් එක්කර වැඩිදියුණු කර මත්වීමේ ප්‍රවණතාව වැඩි කරන්නට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ කටයුතු කළහ. ඒවා තරුණ තරුණියන් අතර ප්‍රචලිත කිරීමට ෆේස්බුක් සාද සංවිධානය කළහ. ඒ නිසා දුම්කොළ සිගරැට්වලට වඩා හානියෙන් අඩු බවට මේවා නිෂ්පාදකයන් කෙසේ කීව ද අපේ රටට මේවා පැමිණි පසු නිකොටින් ද්‍රාවණයට තව තවත් මත් ගතිය වැඩිකරන ද්‍රව්‍ය එක් නොකරනු ඇතැයි කිව හැක්කේ කාට ද? අස්සයා පැන යන තුරු බලා හිඳ ඉස්තාලය වසනවා වෙනුවට දැන්ම තියා ඉස්තාලය වසා දමන්නට බලධාරීන් සිතන්නේ නම් මැනවි.
ඊ සිගරැට් පිළිබඳව අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ උපුල් දිසානායක මහතා
“දුම්කොළ සිගරැට් භාවිතයෙන් මුදවාගන්න කියලා තමයි මේ සිගරැට් වර්ගය හඳුන්වා දී තිබෙන්නේ. ඒත් ඒක සාර්ථක උත්සාහයක් කියලා කියන්න අමාරුයි. ඒ වගේම එයින් සෞඛ්‍ය හානියක් වෙන්නේ නැහැ හෝ පිළිකා හැදෙන්නේ නැහැ කියලා හෝ වෛද්‍යවරු හැටියට අපට කියන්න බැහැ. දුම්කොළ සිගරැට්වලට වඩා හානිය අඩුවිය හැකි වුවත් දිගටම ඇබ්බැහියක් ලෙස නිකොටින් භාවිතය නිසා රෝගී විමේ ඉඩකඩක් නිර්මාණය වෙනවා. ඒ වගේම දැනට දුම්බීමට ඇබ්බැහිව සිටින්නන් ඊ සිගරැට් නිසා එම පුරුද්දෙන් ඉවත් විය හැකි නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ දෙකම භාවිතයට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම කවදාවත් සිගරැට් නොබීපු අය මේක නිසා දුම්බීමට ඇබ්බැහි වෙන්න පුළුවන්. කොහොම වුණත් නිකොටින් කියන්නෙත් ශරිරයට අවශ්‍ය දෙයක් හෝ සුදුසු දෙයක් නොවන නිසාත් මේ සමඟ වෙනත් විෂ රසායනික ශරීරගත විය හැකි නිසාත් අපට වෛද්‍යවරුන් ලෙස ඊ සිගරැට් භාවිතය අනුමත කරන්න බැහැ.”
මුදිතා දයානන්ද