දෛනික ජීවිතයේ පවතින කාර්යය බහුලත්වය නිසාම අඛණ්ඩව දිගු කාලයක් නියමිත වේලාවට ආහාර නොගැනීමේ බලපෑමෙන් - මිනිසා අනේක විධ ලෙඩරෝගවලට පාත්‍ර වීමේ අවදානමක් මෑතකාලීනව ගොඩනැගෙමින් පවතී.
ඒ අතර තරබාරුව යනු පවතින උග්‍ර සෞඛ්‍ය ගැටළුවකි. මේ සඳහා දැන් වයස් සීමාවක් නැති තරම් ය. තරබාරුව යනු තවත් රෝග ගණනාවකටම මුල් වෙන ශාරීරික අසාමාන්‍යතාවකි. තරබාරුකම ශරීරයේ මේදය අතිරික්තයක් ඇතිවීම නිසා සිදුවේ.
පුද්ගලයෙකුගේ ශරීර බර තීරණය වන සාධක
පාරිසරික සාධක, ආහාර අනුභව කරන රටාව, පවුලේ සෞඛ්‍යමය තත්ත්වය, ප්‍රවේණිය, පරිවෘත්තිය, චර්යා රටා හා පුරුදු ඒ අතර වේ. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර ගැනීම, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග රැසකට මූලික හේතුවක් වන අතර ආයු කාලයද අඩු කරයි. මෙවැනි තත්ත්වයක දී බොහෝමයක් දෙනා විවිධ වූ ප්‍රතිකර්මයන් අත්හදා බලන අතරම - කෑම පාලනය, වෙනත් ආහාර රටාවන් අත්හදා බැලීම් වැනි බොහෝමයක් දෑ සිදුකරන නමුත් බෙහෙතකට වඩා එවැනි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිපැදීම වඩාත් යෝග්‍ය බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මතයයි. අපගේ ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාපටිපාටිය තුළ ප්‍රමුඛත්වයෙහි ලා ගැනෙනුයේ ආහාරය. එමනිසා ගතයුතු ආහාර පිළිබඳවත්, නොගතයුතු ආහාර පිළිබඳවත්, මනා වූ අවබෝධයක් තිබිය යුතුය. එසේ තිබුණ ද කාර්යබහුලත්වය නිසාම ගන්නා ආහාරවල පවතින සංඝටක හේතුවෙන් ස්ථූලතාවය සමාජයේ බොහෝමයක් දෙනාට පවතින්නා වූ මුඛ්‍ය ගැටලුවකි. ආහාරවල පවතින අසමතුලිතභාවය, සමහර ආහාර වල අන්තර්ගතය පිළිබඳව කිසිවක් නොදැනීම, දිනකට වේල් 3 ට වඩා ආහාර ලබා ගැනීම, කෑ ආහාරය දිරවීමට පෙර නැවත අනුභවය, අවේලාවේ අනුභවය, දිරවීමට අපහසු ආහාර කෑම, එකිනෙකට නොගැළපෙන ආහාර ගැනීම වැනි කරුණු කාරණා හේතුවෙන් යමෙකු අධික ස්ථූලතාවයෙන් පෙළීමට ඉඩ ඇත.
ආයුර්වේදයට අනුව අධික වශයෙන් ආහාර ගැනීම, ව්‍යායාම අඩුවීම නිසා ඇතිවන අධික ස්ථූලතාවය හේතුවෙන් දියවැඩියාව, ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන අධික වර්ධන එනම් ගෙඩි, වණ, කුෂ්ට රෝග, ශරීරයේ ද්‍රව්‍ය පරිවෘත්තියේ ඇතිවන අවහිරතා, විවිධ උණ රෝග, මුත්‍ර ආසාදන, ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ රෝග, යම් යම් ආහාර කෙරෙහි රුචි නොවීම, නිදිමත ස්වභාවය, ලිංගික බෙලහීනතාව, යම් කාර්යයක නියැලීමට ඇති අපහසු බව, ශරීරය බර ලෙස හැඟීම, ඉන්ද්‍රියන් හා ශරීරයේ නාළවල අවහිරතා ඇතිවීම, බුද්ධිමත්ව කල්පනා කිරීමට අපහසුතා ඇතිවීම, නිගමනවලට බැසීමට ප්‍රමාදවීම, ශරීරයේ ඉදිමුම හා වෙනත් රෝගද ඇතිවිය හැකිය.
ස්ථූලතාවය මානසික ගැටලුවක් බවට ද පත්විය හැකියි.
බොහෝ දෙනා ස්ථූලතාවන් මගහරවා ගැනීමට විවිධ ආහාර ප්‍රතික්ෂේප කිරීම හෝ අහාර ලබාගැනීම්, රාත්‍රී ආහාර නොගෙන සිටීම වැනි දෑ සිදු කරයි. නමුත් මෙය සුදුසු ක්‍රියාවක් නොවේ. ඊට හේතුව පැය ගණනාවක් පුරාවට ආහාර නොගෙන සිටීමෙන් ආමාශයේ අධික අම්ල ස්වභාවයක් ඇති වී අම්ල පිත්ත රෝගය වැනි දරුණු ගණයේ රෝගවලට පවා ගොදුරු වීමේ අවදානමක් පැවතීමයි. ශරීරය මහතයි කියා ආහාර නොගෙන සිටීම සුදුසු ක්‍රියාවක් නොවේ.
ඔබත් අධික ස්ථුලතාවය ඇති අයෙක් නම්,
“උදෑසන අවදි වූ විගස රස්නය සහිත වතුර වීදුරුවක් පානය කිරීම ඉතා ගුණදායකය. මෙය ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න වගේම මල බද්ධය අඩු කරන්නත් හේතුවකි. මාසයක් පමණ මෙය නොකඩවා කිරීමෙන් සිරුරේ බර අඩු කරගැනීමේ හැකියාව ඇත.
ඒ වගේම වතුර වීදුරුවකට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර උදෑසන හිස් බඩට පානය කිරීමත් සිරුරේ බර අඩු කර ගැනීමට ඉතාම හොඳ ප්‍රතිකර්මයකි. නමුත් එයද මාස කිහිපයක් නොකඩවා සිදු කළ යුතුය. උදෑසන ආහාරය ලෙස කැඳ වර්ගයක් පානය කිරීමත් එයට ඉඟුරු ඉස්ම මිශ්‍ර කිරීමෙනුත් අපිට බර අඩු කරගත හැකිය. ඒ වගේම කරපිංචා බ්ලෙන්ඩර් කර සාදාගත් යුෂ කෝප්ප බාගයක් සහ දෙහි ගෙඩි බාගයක ඉස්ම මිශ්‍ර කර උදේට පානය කිරීම හොඳ ඖධයක් වන අතර ගෑස්ට්‍රයිටිස් නැතිනම් ගම්මිරිස් ස්වල්පයක් ද එකතු කර ගත හැකිය.
රාත්‍රී නින්දට පෙර කළයුතු දෑ
දිනපතා නින්දට යාමට පෙර මඳ රස්නය සහිත වතුර වීදුරුවකට දෙහි යුෂ තේ හැඳි බාගයක් සහ මී පැණි තේ හැන්දක් එකතු කර පානය කරන්න. ප්‍රධාන ආහාර වේල් තුනට පසු සුදුළූනු සහ ගොරකා තම්බා ගත් වතුර අඬු කෝප්පයක් පානය කරන්න. මෙය ආහාර දිරවීමටත් මේද අවශෝෂණයටත් හේතුවකි. එමෙන්ම ස්නානයට පෙර අබ තෙල් ඇඟේ ගල්වා සම්බාහනය කර උණුසුම් ජලයෙන් ස්නානය කිරීමත් කෙට්ටු වෙන්න හොඳ අත්බෙහෙතකි. මීට අමතරව ගෝවා සලාදයට දෙහි යුෂ එකතු කර ආහාරයට ගැනීමත් බර අඩු කර ගැනීමට හොඳ ඖෂධයක් වන අතර පිපිඤ්ඤා, ගෝවා, බෝංචි, රාබු, බණ්ඩක්කා, නෝකෝල්, පතෝල බර අඩු කරන ප්‍රධානම ආහාර වර්ගයි. ඒ අතරම පළතුරු වර්ග ලෙස කොමඩු, දෙහි, දොඩම්, ලෙමන්, ජම්බු අහාරයට ගැනීමත් වඩාත් යෝග්‍ය වේ.
කෙට්ටු වීමට එසේත් නැතිනම් අධික ස්ථූලතාවයෙන් අත්මිදීම සඳහා යථොක්ත ආකාරයේ ආහාර ගැනීම වඩාත් යෝග්‍ය වනබැව් සැබෑය. නමුත් පිටි කැවිලි, තෙල් කැවිලි, හබල පෙති ආදිය කිසිවිටකත් ආහාරයට නොගත යුතු බව ආයුර්වේද නියමයයි. නිතරම නොගත යුතු ආහාර ලෙස කරවල, වියළී ගිය එළවළු, නෙළුම් අල දැක්‌වෙන අතර ලෙඩින් කෙසඟ වී මිය ගිය මස් කිසිවිටකත් ආහාරයට නොගත යුතුය.
එසේම දෛනික ජීවිතයේ දී ආහාරයන් ගැනීමේදී පිළිපැදිය යුතු නියමයන් ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වේ. එවැනි ආහාර තමා තෘප්තියට පත්වන ප්‍රමාණයෙන් තුනෙන් එක් කොටසක් ආහාරයට ගත යුතුය. එනම් තමාට ග්‍රෑම් 15 ආහාරයට ගතහැකි නම් ගත යුත්තේ ග්‍රෑම් 5 කි. ඉතා පහසුවෙන් දිරවන ආහාර තමාගේ තෘප්ති ප්‍රමාණයෙන් අඩක් ගතයුතු බව ආයුර්වේද සිද්ධාන්තයි. එනම් ග්‍රෑම් 10 ක් ආහාරයට ගතහැකි විට ආහාරයට ගත යුත්තේ ග්‍රෑම් 5 කි. මෙලෙස ආහාර ගැනීමෙන් ශරීර බලය, ශරීර වර්ණය, බුද්ධිය, සතුට, පෘෂ්ටිය, සුවය, ආයුෂ ආදිය වර්ධනය වන බව ආයුර්වේද ශාස්ත්‍රය පෙන්වා දෙයි.
බත් ආහාරයට ගැනීම අවම කිරීමෙන් පමණක් යමෙකුට ස්ථූලතාවයෙන් අත්මිදිය නොහැකියි
“අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ තුන් වේලටම බත් කන්න. බත් කියල කියන්නෙත් කාබෝහයිඩ්‍රේඩ් අධික ආහාරයක්. මහත් වෙන්න බලපාන ප්‍රධානතම සංඝටකයක් ඒ නිසා අපි කරන්න ඕන තුන්වේලටම බත් කන එකම නොවේ. බත් අවම ප්‍රමාණයකින් ආහාරයට ගෙන එළවළු වැඩිපුර ආහාරයට ගැනීම. ඒ අතරට ප්‍රෝටීන් බහුල ආහාර, පලා වර්ග, මස් මාළු වර්ග, ධාන්‍ය වර්ග ආදිය අහාර වේල් සඳහා එක්කර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම තමයි ආහාර පාලනය කිරීමෙන් විතරක් අපට අපගේ අධික බර මගහරවා ගන්න බැහැ. අවම වශයෙන් දිනකට විනාඩි 15ක හෝ විනාඩි 20ක ව්‍යායාම කිරීම, මනස පීඩනයකින් තොරව පවත්වා ගැනීම, ආහාර ගැනීමේදී අවබෝධයෙන් යුක්තව ආහාර ගැනීම, වේගවත් ආහාර රටාවන් වලින් අත්මිදීම වැනි කරුණු කාරණා සම්පූර්ණ කරනවා නම් අපිට පුළුවන් අධික ස්ථූලතාවයෙන් අත්මිදීමේ මූලික ක්‍රියාවට අවතීර්ණ වන්නට.
ආයුර්වේදය, දහසක් වසරක ඉතිහාසයකින් සමන්විත පුරාණ වෛද්‍ය විද්‍යාවකි. මෙය සම්පූර්ණ පුද්ගලයා – ශරීරය, මනස හා ආත්මය – සන්සුන්ව පවත්වා ගැනීමේ මාර්ගයක් වේ. බර අඩු කිරීම සඳහා ආයුර්වේදය විශේෂ වශයෙන් දෝෂ තත්ත්වය, ආහාර සංයෝජනය, ව්‍යායාමය, මනෝභාවය, පිළිබඳව සවිස්තරව සලකා බලයි. එමෙන්ම
බර අඩු කිරීම දිගු කාලීන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට පිවිසීමකි. ආයුර්වේදය තුළින්, ස්වභාවයට ගැළපෙන ක්‍රමයන්ගෙන් බාහිර හා අභ්‍යන්තර ආශ්‍රිත සෞඛ්‍යය පවත්වා ගෙන යා හැක. ඔබගේ දෝෂ ප්‍රකෘතිය අනුව නිවැරදි මාර්ගය තෝරා ගැනීම වඩාත්ම ප්‍රයෝජනවත් වේ. එමගින් යමෙකු අධික ස්ථූලතාවයෙන් පෙළෙන්නේනම් එය මගහරවා ගැනීමට පිටිවහලක් වනු ඇත.
මදූශා දිල්ශානි