භාෂාව සහ සමාජය අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. භාෂාව යනු සමාජ සංස්කෘතියේ කොටසක් වේ. එය සමාජය විසින් නිර්මාණය කරනු ලබන අතර, සමාජය විසින් භාවිත කරනු ලබයි. භාෂාව සමාජය තුළ සන්නිවේදනය සඳහා භාවිත වන අතර - සමාජයේ අදහස්, විශ්වාසයන් සහ සාරධර්ම ප්‍රකාශ කිරීමට උපකාරි වේ. මේ අනුව භාෂාව සමාජය හැඩගස්වන අතර, සමාජය භාෂාව හැඩගස්වයි. මෙම සහසම්බන්ධය සමාජය තුළ භාෂාවේ භූමිකාව තේරුම් ගැනීමට උපකාරි වේ.

එම ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේ වන්නේ කළුතර - හොරණ දොඹගොඩ ගණේකන්ද පුරාණ රාජමහා විහාරයේ විහාරවාසී “සන්නස්ගම ඉන්දරතන හිමියන් ය. උන්වහන්සේ 2022 වසරේ දී යාපනය විශ්ව විද්‍යාලයේ දමිළ භාෂා අධ්‍යනාංශයට ඇතුළත් වන්නේ දමිළ භාෂාව පිළිබඳ සිය පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව සඳහාය. ඒ අනුව එම විශ්වවිද්‍යාලයෙන් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළ පළමු භික්ෂුන්වහන්සේ වීමට ද උන්වහන්සේට හැකියාව ලැබිණි. ඒ අනුව උන්වහන්සේ “ඉරිදා ලංකාදීප” ය හා පිළිසඳරකට එක් වී සිය අදහස් මෙසේ ප්‍රකාශ කළහ.
“මම පැවිදි වුණේ වයස අවුරුදු 9 දී. පසුව වරකාගොඩ ගල්ලෙන් රජමහා පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබුවා. ඒ කාලයේ අපට අමතර දමිළ පංතියක් කළා විජේනායක කියලා සර් කෙනෙක්. පසුව පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මම දමිළ භාෂාව විෂයක් ලෙස කළා. ඊට විශිෂ්ට සාමාර්ථයක් මට තිබෙනවා. පසුව මම උසස් පෙළ අධ්‍යාපනය ලබලා ඒ විභාගයෙන් සමත්වෙලා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ විශ්ව විද්‍යාලයෙන් මගේ මූලික උපාධිය වන ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නවා. ඉන්පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම දමිළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවකට අයැදුම් කළා. එම ඩිප්ලෝමාවේ දී මම දමිළ සාහිත්‍ය, දමිළ ව්‍යාකරණ, දමිළ ඉතිහාසය හා දමිළ කථනය යන විෂයන්වලට අතිවිශිෂ්ට සාමාර්ථයන් ලබාගෙන සමත් වුණා.”
“මට ඒ දිනවල දමිළ භාෂාව ලියන්න කියවන්න හැකියාව තිබුණත්, කථනයට තිබුණේ අඩු හැකියාවක්. 2014 වසරේදී මම මුහුණු පොතේ මගේ රූපය දාලා දමිළ භාෂාවෙන් මගේ නම සටහන් කරලා සමාජ මාධ්‍ය ගිණුමක් හැදුවා. ඊට විශාල දමිළ පිරිසක් මිතුරන් ලෙස එක් වුණා. පසුව ඒ අයත් එක්ක හිතවත්කම් ගොඩනැගුණා. ඒ මිතුරන් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. එහෙම ඒ අය එක්ක කතා කරලා මට දමිළ භාෂාව හොඳින් කතා කරන්නත් පුළුවන් වුණා.”
“ඒ අතරේ යාපනය කෝන්ඩාවිල්වල මගේ මිතුරෙක් හිටියා. ඔහුගේ නම අගිලන් විශ්වලිංගම්. එයාගේ අයියා ආනන්දන් විශ්වලිංගම් ගේ විවාහ උත්සවය වෙනුවෙන් මට ආරාධනා ලැබුණා. මම සහ සුමිත් කියලා මගේ මිත්‍ර මහත්මයෙක් සමග විවාහ උත්සවයට යාපනයට ගියා. එහිදී කසාද බඳින යුවළට පෝරුවේ දීම මම පිරිත් කියලා ආශීර්වාද කළා. විවාහ උත්සවයට ඇවිත් හිටිය දමිළ පිරිස් ඒ සමගම නැගිටලා අත්පුඩි ගහලා ප්‍රතිචාර දැක්වුවා. ඒ මිනිස්සු දන්නේ නැහැනෙ මේ බෞද්ධ ආගමික වතාවතක් කියලා. ඒ සිදුවීමෙන් පස්සේ යාපනයේ මිනිස්සු මගෙත් එක්ක හිතවත් වුණා. ඒ හිතවත්කම එක්ක මම නාග විහාරයට යන ගමන්වල දී දමිළ මිතුරන් හමුවෙලා සුහදව කතාබහ කළා.”
“2015 දී මට වැල්ලපිටිය විද්‍යාසේකර පිරිවෙනේ ගුරු පත්වීමක් ලැබුණා. එය කරන අතර 2019 දී කළුතර දිස්ත්‍රික්කයේ දමිළ භාෂා ගුරු උපදේශක තනතුරක් ලැබුණා. නමුත් මම එයින් ටික කලෙකින්ම ඉල්ලා අස්වුණා. ඊට හේතුවක් තිබුණා. දමිළ භාෂාව ප්‍රධාන භාෂාවක් ලෙස නොව වෛකල්පික භාෂාවක් විදිහටයි තිබෙන්නෙ. ප්‍රධාන භාෂාවක් ලෙස අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් කරන්න කවුරුවත් උත්සාහ කරන්නෙත් නැහැ. මම කියන්නේ අධ්‍යාපනයේ දී සිංහල මෙන්ම දමිළ භාෂාව ද ප්‍රධාන භාෂාවක් ලෙසින් උගැන්විය යුතු බවයි. උදාහරණයක් විදිහට සංස්කෘත කියන විෂය අපි ඉගෙන ගත්තට පොත්පත් කියවන්න විතරයි පුළුවන්. සංස්කෘත භාෂාව භාවිතයේ නැහැ. නමුත් දමිළ භාෂාව කතා කරන මිනිස්සු ලංකාව පුරාම ඉන්නවා. අල්ලපු රටෙත් ඉන්නවා. දමිළ කියන්නෙ ලංකාවේ ප්‍රායෝගිකව කතා කරන භාෂාවක්. මේ නිසා දමිළ භාෂා ගුරු උපදේශක කියන තනතුර නාමික එකක් කියලා මට හිතුණ නිසාත්, එම තනතුරෙන් මම හිතන තරමට සමාජයට සේවයක් කළ නොහැකි වීම නිසාත්, තමයි මම ඒ තනතුරෙන් ඉවත් වුණේ.”

සන්නස්ගම ඉන්දරතන හිමියන් යාපනය විශ්වවිද්‍යාලයේ දමිළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ඇතුළත් වූ ආකාරය පිළිබඳව සඳහන් කළේ මෙලෙසය.
“යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මම හඳුනන කථිකාචාර්යවරයෙක් ඉන්නවා. ඔහු තමා සාලිය සම්පත් මහත්මයා. එතුමා විසින් තමයි යාපනය විශ්වවිද්‍යාලයේ සරසවි විහාරය ගොඩනැංවීමට මූලිකව කටයුතු කළේ. එතුමා මට කිව්වා යාපනය විශ්ව විද්‍යාලයේ තිබෙන දමිළ මාධ්‍ය පාඨමාලාවකට අයදුම් කරන්න කියලා. ඒ අනුව තමයි මම දමිළ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කළේ.”
“යාපනය විශ්වවිද්‍යාලයෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා මට කැඳවීම් කර තිබුණා. සම්මුඛ පරීක්ෂණයේ දී මගෙන් ප්‍රශ්න කළේ දමිළ භාෂාවෙන්. ඒ සම්මුඛ පරික්ෂණය කළ දමිළ මහාචාර්යවරු මගෙන් ඇසුවේ, සෑම දේශනයක්ම දමිළ භාෂාවෙන් කරන නිසාත්, පරිශීලනය කිරීමට සිදුවන්නේ දමිළ සාහිත්‍ය පතපොත නිසාත්, ගැටලුවකින් තොරව අධ්‍යයන කටයුතු කළ හැකිද කියලා. කෙසේ නමුත් මම සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීලා පාඨමාලාවට සම්බන්ධ වුණා. මෙම පාඨමාලාව සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන්න පුළුවන්. ඒ නිසා මේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න මම තීරණය කළා.”
“එතැන් සිට මම හැම සතියෙම සිකුරාදා දිනයේ කළුතර ඉඳන් යාපනය බලා ගමන් කරනවා. සෙනසුරාදා ඉරිදා දිනවල තමයි දේශන කටයුතු සිදුවෙන්නේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි - නාග විහාරයේ ලොකු හාමුදුරුවන් විහාරයේ නවාතැන් ගැනීමට, දානය වළඳන්න හා නාග විහාරයේ සිට විශ්වවිද්‍යාලය දක්වා ප්‍රවාහන පහසුකම් යන සියලු කටයුතු සලසලා දුන්නා. ඒ වගේම පන්සලේ දෙවන හාමුදුරුවන් ද මට ගොඩක් උදව් උපකාර කළා.”
“යාපනය විශ්වවිද්‍යාලයේ අප පීඨයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ මහාචාර්ය විශාකරූබන් සර්. ඔහු ඉතාමත් කරුණාවෙන් මට සැලකුවා. කිසිම වෙලාවක මෙහෙ ආවා කියලා හාමුදුරුවන් ගේ සංස්කෘතියේ තියෙන දේවල් වෙනස් කර ගන්න එපා කියලා විශාකරූබන් සර් මට කියනවා. දහවල් 12 ට කලින් දානය වළඳන්න ඕන නේද කියලා අහලා එතුමා මං වෙනුවෙන්ම දේශන කටයුතු නවතනවා. ඒ වගේම තමයි මහාචාර්ය සිවලිංගරාජා සර්නුත් මට හරිම ආදරෙයි. ඔහු වයසක සර් කෙනෙක්. දේශනවලට එන්නේ හැරමිටියකුත් අරගෙන. ඒ වගේම තමයි සහෝදර දමිළ සිසුන් මට දානය සඳහා දමිළ සංස්කෘතියේ කෑම බීම ද ගෙනවිත් දෙනවා.”
“මම දමිළ භාෂාවෙන් පොතක් ලියුවා. ඒ උපාධි පර්‌යේෂණ නිබන්ධනයක් වශයෙන්. මම ඉන්න හොරණ පැත්තෙ. එහෙ දමිළ සාහිත්‍ය පොතපත සොයා ගන්න අමාරුයි. ඒනිසා මගේ පර්‌යේෂණ නිබන්ධනයට අදාළ සියලු පතපොත හොයලා ගෙනවිත් දුන්නේ සිවලිංගරාජා සර්. මම ඒ සර්ට හැරමිටියකුත් තෑගි දීලා තියෙනවා. ඒ වගේම තමයි දමිළ ශිෂ්‍ය ප්‍රජාව. ඔවුන් දමිළ භාෂාවේ අසීරු තැන්වලදී මට උදව් උපකාර කරනවා. කොළඹ යාපනය කියලා මට වෙනසක් තේරුණේ නැහැ.”
සන්නස්ගම ඉන්දරතන හිමියන් තම පර්යේෂණ නිබන්ධනය සඳහා තෝරා ගනු ලැබූ මාතෘකා පිළිබඳව ද සඳහන් කළේ මෙවැන්නකි.

“මම පාඨමාලාවේ දී දමිළ භාෂාව, දමිළ සාහිත්‍ය හා දමිළ ව්‍යාකරණ වැනි විෂයයන් තමයි ඉගෙන ගත්තේ. දමිළ මහා කාව්‍යයක් තිබෙනවා, මනිමේගලෙයි කියලා. එහි කොටසක් තිබෙනවා බෞද්ධ පටිච්ච සමුප්පාදය ගැන. මම ඒක පර්‌යේෂණ නිබන්ධනයට දමිළ භාෂාවෙන් කළා. යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ හාමුදුරු කෙනෙක් කළ පළමු පර්‌යේෂණ නිබන්ධනය එයයි.”
අපට අනෙකාගේ හැඟීම්, දැනීම් තේරුම් ගැනීමට බැරි වෙන තාක්කල් අපි දුරස් වෙනවා මිසක් සංවර්ධනයක් හරහා මොන තරම් භෞතික සම්පත් ලැබුණත් මානවයා අතර ගොඩනඟන මේ සහසම්බන්ධතාව වගේම එකිනෙකා අවබෝධ කරගන්නට භාෂාව නැත්නම් කුමක්වත් සිදුකළ නොහැක. සිංහල කෙනෙකුට දමිළ මව් භාෂිකයන් විදිහටම දමිළ භාෂාව කතා කරන්න බැරි වෙයි. ඒත්, අපි කතාකරන දේ අනිත් කෙනාට තේරෙනවා නම් ඒ ප්‍රමාණවත්. අපි මේ සහෝදර භාෂාව උගත යුතුයි. ඒ වගේම දමිළ සහ මුස්ලිම් සහෝදරයෝ සිංහල භාෂාවත් ඉගෙන ගන්නවා නම් තවදුරටත් අපේ මේ සහයෝගය සම්බන්ධතාව වර්ධනය වෙන බව සඳහන් කළ යුතුය. ඒ අනුව සන්නස්ගම ඉන්දරතන හිමියන් දමිළ භාෂාව ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළහ.
“දමිළ භාෂාව කියන්නේ සිංහල වගේම සාගරයක් වගේ පොත පත තිබෙන, සාහිත්‍ය ඉතිහාසයක් නිර්මාණය වූ භාෂාවක් කියලා කියන්න පුළුවන්. භාෂාවක්, එය පරිශීලනය කරද්දි තමයි අපිට තේරෙන්නෙ දමිළ සාහිත්‍යයෙත් හිතන්නවත් බැරි පොත් සමුදායක් තිබෙනවා. ඒ වගේම දමිළ භාෂාවේ අතීත සාහිත්‍යයට යනවිට දමිළ සාහිත්‍යයේ තිබෙන්නේ බෞද්ධ පොත් පත්. දමිළ සාහිත්‍යයේ කාල තිබෙනවා. සංග කාලම්, සංගමරුවිය කාලම් සහ පල්ලවර් කාලම් කියලා. සංග කාලම්වලට පස්සේ බෞද්ධ සාහිත්‍යයේ ලියැවුණු මහා කාව්‍ය ගැන. බෞද්ධ මදුරෛකාංජි කියලා පොතක් තිබෙනවා. ඒ පොතේ ලියලා තිබෙනවා, මදුරාපුරේ හවසට කොහොමද මිනිස්සු පන්සල් යන විදිහ, නෙළුම් මල් අරගෙන, අනුරාධපුර රුවන්වැලිසෑයට වැඩියා වගේ හාමුදුරුවරු පන්සල වෙත වැඩිය දර්ශනයන් පිළිබඳව මදුරෛකාංජි පොතේ ඉතා අලංකාරව සාහිත්‍යානුකූලව සඳහන් කර තිබෙනවා. සිලප්පදිකාරම් හා මනිමේගලෛ කියන හින්දු මහා කාව්‍ය දෙකේම තිබෙන්නේ පත්තිනි මෑණියන්ගේ කතා පුවත. පත්තිනි මෑණියෝ බෝධිසත්ව ආත්මයක් වෙලා නිවන් අවබෝධ කර ගන්නවා කියන සිද්ධිදාමය තමයි එහි සටහන් වෙන්නේ.
තවද, කිව යුතු දෙයක් තිබේ. සන්නස්ගම ඉන්දරතන හිමියන් ඉන්දියාවේ තමිල්නාඩුව පුරා පවත්වන සෑම සියලු බෞද්ධ වැඩසටහන්වලට සම්බන්ධ වෙති. ඒ පිළිබඳව සන්නස්ගම ඉන්දරතන හිමියෝ මෙසේ පැවසූහ.
“මම ඉන්දියාවේ තමිල්නාඩුව පුරා පවත්වන බෞද්ධ වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. විශේෂයෙන් තමිල්නාඩු බෞද්ධයන් මෙහි අප විහාරස්ථානවලට ද පැමිණෙනවා. ඒ වගේම තමිල්නාඩුවේ බෞද්ධ මහත්වරු මෙහි පැමිණ තාවකාලික පැවිදි බව පවා ලබාගත්තා. ඒ අය අදටත් අප සමග කතා බහ කරනවා. විශේෂයෙන් යාපනය විශ්ව විද්‍යාලයෙන් මම ලබාගත්ත පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකය වෙනුවෙන් ඒ මහත්වරු තමිල්නාඩුවේ විශේෂ උත්සවයක් අප්‍රේල් මාසයේ සංවිධානය කරලා මට ආරාධනා කර තිබෙනවා.”
“තමිල්නාඩුව පුරාම ලියාපදිංචි බෞද්ධ විහාරස්ථාන 82 ක් පමණ තිබෙනවා. හාමුදුරුවරු ඉන්නෙ දොළොස් නමයි. ඒ නිසා එම බෞද්ධ මහත්වරුන් බලාපොරොත්තු වෙනවා ලංකාව හෝ වෙනත් රටකින් දමිළ භාෂාව ඉගෙන ගත් හාමුදුරුවරු තමිල්නාඩුව වගේ රටවලත්, ලෝකය පුරාත් දමිළ ජනතාව ජීවත් වෙනවා. බෞද්ධ දමිළ ජනතාව ජීවත් වෙනවා. ඒ අය දමිළ භාෂාවෙන් මේ ධර්මය අහන්න දැනගන්න උනන්දුවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ලංකාව ගත් විට අද වෙන විට හාමුදුරුවරුන් දමිළ භාෂාව ප්‍රගුණ කර ගෙන එහි නියැළෙන ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. ඒ නිසා අපගේ රටේ හාමුදුරුවරු දමිළ භාෂාව ඉගෙන ගත යුතුයි. එහෙම වුණොත් උන්වහන්සේලාට ලොකු ගමනක් යන්න පුළුවන් කියා මා අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.”
විශේෂ ස්තූතිය - සාලිය සම්පත් මහතාට
එම්. තාරික්
එම්. තාරික්



