අහල තිබුණට හරියට නොදන්න දෙතිස්වද මෙන්න!


දෙතිස් වධ යනු මෙරට රජ සමයේ රජවරුන් විසින් අපරාධකරුවන් හට ලබා දුන් අමානුෂික හා ඉතාමත් වේදනාකාරී වූ දඬුවම් ක්‍රම 32කි. අතීතයේ දී මෙරට පාලනය කළ රජවරුන් විසින් ඇතැම් අපරාධකරුවන්ට දෙතිස් වධයට අයත් දඬුවමකින් දඬුවම් කොට මරණයට පත් කිරීමට පියවර ගෙන තිබේ. දෙතිස් වධ යනු අතිශය කෲර, අමානුෂික,  වේදනාකාරී ඉතාමත් දරුණු වධ බන්ධන 32ක් වන අතර, ඒවාට ලක්වීම කෙසේ වෙතත් එම දඬුවම්  පිළිබඳව ඇසීමේ දී පවා ශරීරය කිලිපොළා යයි. 

මෙරට දැනට ක්‍රියාත්මක වන උපරිම දඬුවම වන්නේ එල්ලා මරා දැමීමේ මරණ දඬුවමයි. එසේ මරණ දඬුවම ලබාදුන්නද මෙරටෙහි එල්ලා මරා දැමීමක් මේ වනවිට සිදු නොකරයි. සිදු කරනුයේ එල්ලා මරා දැමීමට නියම වූ පුද්ගලයන් ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමයි. මෙරට ක්‍රියාත්මක එල්ලා මරා දැමීමේ දඬුවමට ජනාධිපතිවරයා අත්සන් කළ යුතුව තිබේ. එහෙත් මෑත සිට ජනාධිපතිවරුන්  විසින් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකෙරේ. ඒ අනුව 1976 වසරේ මැද භාගයෙන් පසුව මෙරට බන්ධනාගාරයක එල්ලා මරා දැමීමක් සිදුව නොමැත.

අතීත රජවරුන් විසින් වරදකරුවන් හට දෙතිස් වධ දඬුවම් ලබා දුන් බවට අසා ඇතත් ඒවා මොනවාදැයි  බොහෝ පිරිසක් නොදන්නා කරුණක් විය හැකිය. රජවරුන් විසින් දෙතිස් වධ දඬුවම් ක්‍රියාවලියට වරදකරුවෙකු ලක් කොට ඇත්තේ ප්‍රසිද්ධියේ මහජනතාව ඉදිරියේ බව කියැවේ. මෙම දරුණු අමානුෂික දෙතිස් වධ බන්ධනවලට ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ ලක් කිරීම හේතුවෙන් අතීතයේ රජ දවස මෙරට අපරාධ සැලකිය යුතු ලෙස මර්දනය වී පැවැති බව සඳහන් වේ. 

දෙතිස් වධ දඬුවම්වල ඇත්තේ ඉතාමත් බියකරු හා දැඩි අමානුෂික ක්‍රියාවලියකි. අතීතයේ රජ දවස මෙරට පැවති දෙතිස් වධ පැරණි සටහන්වල දක්වා ඇත්තේ මෙසේය.

  1. කසයෙන් පහරදීම. (වරදේ ස්වාභාවය අනුව මෙහි කස පහර ප්‍රමාණය තීරණය කරයි) 
  2. වේවැලකින්, උණ පත්තෙන් හෝ සතර රියන් පොලු‍ දෙකකින් තැළීම. (වරදේ ස්වභාවය අනුව තැළීම් පහර තීරණය කරනු ලබයි. සතර රියන යනු අඩි හයකට සමාන පොල්ලකි) 
  3. අත කැපීම 
  4. කකුල කැපීම 
  5. අත් හා කකුල් දෙකම කැපීම 
  6. කන කැපීම 
  7. නාසය කැපීම 
  8. කන සහ නාසය යන දෙකම කැපීම 
  9. සිරුර වෑයක් භාවිතයෙන්  හතරැස් කිරීම (වෑය යනු ලී කොටවල පොතු රැහීම සඳහා භාවිත කරන තියුණු මුවහතකින් සමන්විත ආයුධයකි) 
  10. වද මල් සහ ගෙරි ඇට පලඳවා වද බෙර ගසමින් නගරයේ වීදි පුරා ඇවිද්දීම 
  11. ඇස් උගුල්ලා දැමීම 
  12. පැසෙන තෙල් කටාරමකට බැස්සවීම (වැරදි වැටහීමක් හේතුවෙන් කැලණිතිස්ස රජු විසින් රහතන් වහන්සේ නමකට මෙම දඬුවම ලබා දුන් බව කියවේ) 
  13. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම 
  14. දිවැස් හුල හිඳුවීම (වරදකරුවා කෙළින් සිටුවා උස් උලක් මත හිඳුවීම සිදු කරනු ලබන අතර,  එහෙදී එම උල ඔහුගේ සිරුර පසාරු කර ගොස් හිසින් මතුව මරණයට පත් වේ)
  15. කඩුවෙන් හිස ගසා දැමීම 
  16. යටි පතුල් පළා ඒ තුළට  ලු‍ණු, මිරිස්  සහ වැලි දමා බොරලු මත ඇවිද්දීම. 
  17. අඩුවකින් දිව එළියට ඇද කපා  දැමීම 
  18. හොඳින් නටන තෙල් ශරීරය පුරා දැමීම 
  19. මස් ලොඹුවේ තබා ශරීරය කඩ කිරීම (මෙහිදී වරදකරු ලී කොටයක් උඩ තබා සිරුර කැබලිවලට කපා දැමීම) 
  20. වරදකරුවාගේ සිරුර පිදුරු බිස්සක් මෙන් අතිශය කුඩා වනතුරු පොලු‍වලින් තළා, ශරීරයේ අස්ථි කුඩු කර දැමීම. 
  21. අපරාධකරු එක් ඇලයකට හරවා කන තුළින් යකඩ උලක් යවා පාදවලින් අල්ලා කරකැවීම  
  22. වරදකරුවාගේ සිරුර පුරාම තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කොට ඉන් පසුව කාරම් දිය ඉසීම (ඉන් ශරීරයේ මස් හා ඇට කොටස් දියවී යයි)
  23. වරදකරුගේ සිරුරේ මුල සිට අගට හෝ අග සිට මුලට පෙති ගැසීම. 
  24. දෙපැත්ත මුවහත් බිලී කොකුවලින් ශරීරයට ඇන මාංශපේශි හා නහර ඉලිප්පීම.  
  25. වරදකරුවා පොළොවේ මුනින් අතට තබා ඔහුගේ දණහිස්  යකඩ වළලු‍ ආධාරයෙන් පොළොවට සවි කර ඉන් පසු සිරුරට ගිනි තැබීම.  
  26. අපරාධකරුගේ සිරුර ඉහළ සිට පහළට හෝ පහළ සිට පපු ප්‍රදේශය වන තෙක් සම ගසා දැමීම.  
  27. අපරාධකරුගේ බෙල්ලේ සිට වළලු‍කර දක්වා සිරුරේ සම ගලවා දමා යකඩ කොක්කක එල්ලා පැද්දීම.  
  28. කට යකඩ උලකින් අරවා, ඒ තුළ පහන් දැල්වීම හෝ කනට තෙල් දමා එම තෙල් කටට පැමිණි පසු කට තුළ පහන් දැල්වීම.  
  29. අපරාධකරුගේ අත් හා පාදවල පාන්කඩ ඔතා ඒවා තෙලින් පොඟවා ගිනි තැබීම. 
  30. වරදකරුගේ සිරුරේ තෙල් පාන්කඩ ඔතා පණ පිටින් ගිනි තැබීම. 
  31. වරදකරුගේ හිස් කබලේ උඩු කොටස ගලවා රත් කරන ලද ඊයම් හෝ යකඩ ගුළි මොළය තුළට දැමීම. 
  32. හිසෙහි කෙස් කපා ඉන් අනතුරැව හිස් කබලෙහි සම ගලවා ඉවත් කොට හිස් කබල සක්ගෙඩියක් තරම් සුදු පාට වනතුරු බොරලු ගොඩේ ඇතිල්ලීම.

මෙම සම්මත වූ දෙතිස් වධවලට අමතරව රජු විසින් අණ දෙනු ලබන ඕනෑම වධයක් අපරාධකරුවන් හට ක්‍රියාත්මක කිරීමට වධකයෝ කටයුතු කරති. ඉන් ජනතාව කිසිදාක කුපිත වූයේ නැත. ඊට හේතුව වන්නට ඇත්තේ ජනතාව එම දඬුවම් අතිශය සාධාරණ බවට පිළිගැනීම විය හැකිය. ඇහැළේපොළ කුමාරිහාමිගේ දරු දෙදෙනා වංගෙඩියේ දමා කෙටීම, ඇය බෝගම්බර වැවේ ගිල්වා මරා දැමීම, අලි ඇතුන් ලවා පාගා මරා දැමීම, උස් ගස් දෙකක් ළඟා කොට ඊට අත් පා ගැට ගසා පසුව ගස් දෙක දෙපසට කිරීම, සිරුර මළ සිරුරකට බැඳ සොහොනකට දමා සතුන්ට කෑමට ඉඩ හැරීම, බිත්තියට තබා පස් ගැසීම, පණ පිටින් පොළොවේ වළ දැමීම ආදී  විවිධ අතිශය කෲර මෙන්ම දරුණු වධහිංසා කොට මරා දැමීම් ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. 

අතිශය අමානුෂික වූ මෙවැනි දඬුවම් විශාල ප්‍රමාණයක් යටත් විජිත සමයේදී තහනම් කෙරිණ. එහෙත් ඔවුන් ද රජ සමයේ පැවති දෙතිස් වධවලින් ඇතැම් දඬුවම් ක්‍රම කීපයක් ක්‍රියාත්මක කොට තිබේ. එහෙත් නිදහසින් පසු මෙරට එවැනි කෲර හා අමානුෂික වූ දඬුවම් කිසිවක් ක්‍රියාත්මක නොවිණ.

ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ
තලවකැලේ