අපට වගේම එයාලටත් අවුරුදු


 
වසරේ මුල් අස්වනු නෙළා ගැනීමෙන් පසු පරිභෝජනයට පෙර ඉන් කොටසක් යොදා ගනිමින් දෙවියන් වෙනුවෙන් පුදපූජා පැවැත්වීම - ඉනික්බිති සැමදෙනා එක් වී කා බී විනෝද වීම අනාදිමත් කාලයක් තිස්සේ ලොව පුරා මනුෂ්‍ය වර්ගයා අතර පැවති සිරිතකි. එහි ආරම්භය කවදා කොතැනක සිදුවී දැයි කිව නොහැකි තරම් ඈත අතීතයට විහිදෙයි. ‍ඍතු භේදය නිසා අස්වනු නෙළන කාලය රටින් රටට, කලාපයෙන් කලාපයට වෙනස් වෙයි. 
 
මිනිසා ලොවට ම පොදු කැලැන්ඩරයක් තනා ගෙන වසරේ ආරම්භය ජනවාරි පළමුවැනිදාට යොදාගත්තාට සොබාදහම ඒ අනුව වෙනස් වුණේ නැත. ඒ නිසා අස්වනු නෙළන කාලයට අනුරූපිතව ඒ ඒ රටවල උත්සව පැවැත්වීම කාලාන්තරයක් තිස්සේ ලෝ පුරා නොකඩවා සිදුවිය. අස්වනු ලබාදුන් හිරු දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන් පිදීම ද ඒ ඊට සමගාමීව සිදුවිය. 
 
ශ්‍රී ලංකා වාසී අප සිංහල දමිළ අවුරුදු උත්සවය පවත්වන්නේ - අපේ අස්වනු නෙළා ගැනීමෙන් පසු සිදු කෙරෙන අලු‍ත් සහල් මංගල්‍යයෙන් පසුවය. රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන නොඉඳුල් අලු‍ත් සහලින් සිරිමා බෝ සමිඳුන් පිදීම චිරාත් කාලයක් තිස්සේ ලංකාවාසීන් විසින් සිදු කරගෙන එනු ලබන චාරිත්‍රයකි. අපට අලු‍ත් අවුරුද්ද උදා වන්නේ ඉන් අනතුරුවය. එය අපට ජාතික සමගිය සිහිපත් කරන සුවිශේෂ උත්සවයකි. හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීමත් සමග අප්‍රේල් මාසයේ දී උදාවන මෙම සිංහල - දමිළ අලු‍ත් අවුරුද්ද අපට සංස්කෘතිකමය වශයෙන් ඉතා වැදගත් වේ. අප රටේ සෑම ජනකොටසක් ම පාහේ පොදු කටයුතු කීපයක් එකම පොදු නැකත් මාලාවකට අනුව රටපුරා එකාවන්ව සමරන්නේ - සිරිත්, චාරිත්‍ර, සම්ප්‍රදාය හා ප්‍රතිමාන ඊළඟ පරපුරට ද සම්ප්‍රේෂණය කෙරෙන අයුරිනි. මෙම උත්සවයේ විශිෂ්ටත්වය එයයි. 
 
අප මෙන්ම ලෝකයේ විවිධ රටවල විවිධ සංස්කෘතික සිරිත් විරිත්වලට අනුව අලු‍ත් අවුරුදු සැමරුම් සිදු කරයි.
 
ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල නව වසර විවිධ ආකාරවලින් සමරනු ලබයි. දකුණු ඉන්දියාවේ ‘විෂු’ හා ‘පොංගල්’ උත්සව, උතුරු ඉන්දියාවේ‘ වෛශාඛි’ උත්සව, බටහිර බෙංගාලයේ ‘පොයිලා බෝයිෂාක්’ උත්සව ඒ අතර වේ. එමෙන්ම ‘හෝලි’ උත්සවය ද ඉන්දියාවේ ප්‍රධාන අලු‍ත් අවුරුදු උත්සවයක් ලෙස සැලකේ. වර්ණවත් කුඩු විසි කරමින්, ගීත ගායනා කරමින්, නටමින් හා මිතුරන් සමග විනෝද වෙමින් හෝලි උත්සවය සමරනු ලබයි.
 
තායිලන්තයේ නව වසර ‘සොන්ක්‍රාන්’ ලෙස හඳුන්වන අතර, එය අප්‍රේල් මාසයේ දී සමරනු ලබයි. මෙම උත්සවයේ දී ජලය ඉසීම ප්‍රධාන චාරිත්‍රයකි. එය සංකේතවත් කරන්නේ පිරිසිදු කිරීම සහ නව ආරම්භයක් වේ. එමෙන්ම විවිධ ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව ද පවත්වනු ලබයි. චීන අලු‍ත් අවුරුද්ද චන්ද්‍ර දින දර්ශනයට අනුව ජනවාරි හෝ පෙබරවාරි මාසවල දී සැමරීම සිදු කෙරේ. රතු පැහැති පහන් කූඩු එල්ලීම, ගිනිකෙළි දැල්වීම, පවුලේ සාමාජිකයන් සමග ආහාර ගැනීම වැනි චාරිත්‍ර මෙහි දී සිදු කෙරේ. එමෙන්ම සිංහ නැටුම් සහ මකර නැටුම් ද චීන අලු‍ත් අවුරුදු සැමරුම්වල දී දැක ගත හැකිය.
 
මියන්මාරයේ නව වසර ‘තිංජාන්’ ලෙස හඳුන්වන අතර, එය අප්‍රේල් මාසයේ දී සමරනු ලබයි. මෙම උත්සවයේ දී ජලය ඉසීම සහ විවිධ ක්‍රීඩා පැවැත්වීම ප්‍රධාන චාරිත්‍ර වේ. එමෙන්ම, බෞද්ධ විහාරස්ථානවල විශේෂ ආගමික උත්සව පැවැත්වීම ද සිදුවෙයි.
 
කාම්බෝජයේ නව වසර ”‍චෝල් ච්නාම් තමේයි”‍ ලෙස හඳුන්වයි. එය අප්‍රේල් මැද භාගයේ දින තුනක් පුරා සමරනු ලැබේ. මෙම උත්සවයේ දී ජලය ඉසීමත්, ක්‍රීඩා කිරීමත්, විවිධ සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමත් සිදුකෙරේ. මෙලෙස විවිධ රටවල්වල ජනයා තම සංස්කෘතියට හා විශ්වාසයන්ට අනුව නව වසර සමරනු ලබයි. එමෙන්ම ඒ ඒ රටවල අලු‍ත් අවුරුදු උත්සවවලට ආවේණික වූ සිරිත් විරිත් ද පවතී.
 
බටහිර රටවල අලු‍ත් අවුරුදු සැමරුම් ශ්‍රී ලංකාවේ අපගේ අලු‍ත් අවුරුදු සැමරුම්වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. ඔවුන්ගේ සැමරුම්වල ප්‍රධාන අවධානය යොමු වන්නේ දෙසැම්බර් 31 වන දින රාත්‍රියේ සිට ජනවාරි 1 වන දින උදෑසන දක්වා පැවැත්වෙන උත්සවකාරී සැමරුම් වෙතයි.
 
බටහිර රටවල අලු‍ත් අවුරුදු රාත්‍රිය යනු ඉතාමත් ජනප්‍රිය උත්සව අවස්ථාවකි. මෙම රාත්‍රියේදී මිතුරන් හා පවුලේ සාමාජිකයෝ සමග එකතු වී සාද පවත්වති. විශේෂයෙන්ම නගරවල ප්‍රධාන චතුරස්‍රවල විශාල ප්‍රමාණයේ ගිනිකෙළි සංදර්ශන පවත්වනු ලබයි. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට සියලු‍ දෙනා එකට එක් වී නව වසර පිළිගනිති. ගීත ගායනා කිරීම බටහිර රටවල අලු‍ත් අවුරුදු සැමරුම්වල ප්‍රධාන අංගයකි.
 
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රයේ පවත්වන අලු‍ත් අවුරුදු සැමරුම ලෝක ප්‍රසිද්ධය. එහිදී - විශාල බෝලයක් පහළට හෙළමින් නව වසර පිළිගැනීම සිදු කරයි. එංගලන්තයේ ලන්ඩන් නගරයේ තේම්ස් නදියේ පවත්වන ගිනිකෙළි සංදර්ශනය - අතිශය අලංකාර දසුන් මවන්නකි.
 
ස්පාඤ්ඤයේ මධ්‍යම රාත්‍රියේ මිදි ගෙඩි 12 ක් ආහාරයට ගැනීම වාසනාව ගෙන එන බවට විශ්වාස කෙරේ. ජනවාරි 1 වන දින බොහෝ ජනයා නිවසේ විවේකීව කාලය ගත කරති. පවුලේ සාමාජිකයන් සමග විශේෂ ආහාර වේලක් ගැනීම ද සමහර රටවල සිදුවෙයි. සමහර රටවල අලු‍ත් අවුරුදු දවසේ පෙළපාළි සහ විශේෂ උත්සව ද පවත්වනු ලබයි. බටහිර රටවල අලු‍ත් අවුරුදු සැමරුම්වල සංස්කෘතික වෙනස්කම් ද දැක ගත හැක. සමහර රටවල අලු‍ත් අවුරුද්දේ වාසනාව ගෙන ඒම සඳහා විශේෂ චාරිත්‍ර සිදු කරනු ලබයි. විවිධ රටවල අලු‍ත් අවුරුදු ආහාරවල ද වෙනස්කම් දක්නට ලැබේ. බටහිර රටවල අලු‍ත් අවුරුදු සැමරුම් විනෝදජනක හා උත්සවකාරී ස්වභාවයක් ගන්නා අතර, එය ඔවුන්ගේ සංස්කෘතියේ වැදගත් අංගයකි.
 
ලු‍සිත ජයමාන්න
විදෙස් මාධ්‍ය ඇසුරිනි.