කෙනෙකුට ජීවිතයේ නිශ්චිත ඉලක්කයක් සහ ඒ වෙනුවෙන් කැපවෙන්න හොඳ ආත්ම විශ්වාසයක් තිබේනම්, කුමන බාධක ආවත්, තමන්ගේ දිනුම ඇත්තේ තමන්ගේම අතේ බව සහතික කළ ජයග්‍රාහකයෙක් අපට හමුවිය. ඔහු නමින් තත්සර නානායක්කාර යි. ඔහු දැනට ලංකාවේ සිටින IET හි ලියාපදිංචි ළාබාලතම වරලත් ඉංජිනේරුවරයායි. අවුරුදු 30 ක් වැනි ඉතා අඩු වයසකින් ලංකාවේ වරලත් ඉංජිනේරුවරයෙක් ලෙසින් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු, දැන් ශ්‍රීලංකාවේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේ තරුණ ඉංජිනේරුවන්ගේ කමිටුවේ උපසභාපති ය. ඉතා කෙටි කාලයක් ඇතුළත තත්සර තම ඉලක්කය වෙනුවෙන් කරන ලද කැපකීරීම, එවන් තවත් අංකුර ජීවිතවලට හොඳ පිටුවහලකි. මේ ඔහු දිනුම් කණුව වෙත ගිය ගමන්මගයි.
ගුරුවරුන් වූ තම මව සහ පියාගේ ඇසුරෙන්, අ යනු, ආ යනු කියවන්න පටන්ගත් ඔහු, මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ රන්පොකුණුගම මහා විද්‍යාලයටයි. එම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ඉහළ ලකුණු ලබාගත් තත්සර, ද්විතීක අධ්‍යාපනය සඳහා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය. තම පියා ගණිත ගුරුවරයකු වීම නිසාත්, කුඩා කළ සිට ගණිත විෂයට තිබූ ඇල්මත් නිසාත්, උසස් පෙළ සඳහා ගණිත අංශය තෝරාගත් මොහුට, එකල තිබූ එකම අධිෂ්ඨානය වූයේ ඉංජිනේරුවරයකු වීමයි. එමෙන්ම තම පවුලෙන් ඉංජිනේරුවරයකු බිහිවනු දැකීම මව පියා ඇතුළු පවුලේ එකම බලාපොරොත්තුව ද විය. ඒ බලාපොරොත්තු මල්ඵල ගන්වන අධිෂ්ඨානයෙන් 2011 වර්ෂයේ උසස්පෙළ විභාගයට මුහුණදුන් ඔහුට තමා පැතූ ජයග්‍රහණය හිමි නොවිණි. නමුත් තත්සරගේ ඉලක්කය කෙතරම් බලගතු දැයි හැඟවෙන්නේ පරාජයන් මත වූවද, ඔහු නොවැටී ලද ජයග්‍රහණයේ ගමන්මග ඇසූ විටයි. ඔහු ඒ පිළිබඳ අප සමග පැවසූවේ මෙලෙසිනි.
“ඇත්තටම A/L කාලෙදි ඉංජිනේරුවරයෙක් වෙනවා කියන බලාපොරොත්තුව ලොකුවටම තිබුණා. 2011 වසරේ දී තමයි මම මුලින්ම උසස්පෙළ විභාගයට පෙනී සිටියේ. නමුත් ඒ වසරේ ලැබුණු ප්‍රතිඵලත් එක්ක රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාව ලැබුණත්, ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණෙ නැහැ. හැබැයි මට මේ කාලය වෙනකොට ඉංජිනේරුවරයෙක් වෙන උණ හරි තදට තිබුණා. ඒ වගේම මට ඕන වුණේ අඩු වයසකින් මේ තනතුරට එන්න. ඒ නිසාම තමයි මම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. එතනදි මගේ ටාගට් එක තවත් ස්ථීර වුණා. මම ඒකෙන් පාස් අවුට් වෙන්නේ 2016 දී. ඒ වෙනකොට ලංකාවේ ඉංජිනේරුවරයෙක් කියලා වැඩ කරන්න නම් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචිය ඕන. ඒක ගන්න කලින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය තියෙන්න ඕන. රජයේ ඉංජිනේරු පීඨවල ශිෂ්‍යයන්ට මේක සාමාන්‍යයෙන් හිමිවෙනවා. නමුත් මේක පෞද්ගලික ඉංජිනේරු ෆැකල්ටිවල ළමයින්ට නිකන්ම හම්බෙන්නේ නැහැ. ඒ හැමෝම විභාගයක් ලියල තමයි සාමාජිකත්වය ලබාගන්න ඕනේ. එතනදිත් ලොකු ප්‍රොසෙස් එකක් තියනවා. මම KDU එකේ ඉඳපු කාලේ ඉඳන්ම ඉක්මණින් වරලත් ඉංජිනේරුවෙක් වෙනවා කියන ටාගට් එක මට තිබුණ නිසා තමයි මං ඒ දේවල් ඉක්මනින්ම සම්පූර්ණ කරගත්තේ.”
මේ විදියට ලංකාවේ ඉංජිනේරුවරයෙක් ලෙසින් ලියාපදිංචි වුණු ඔහුට තිබූ ඊළඟ ඉලක්කය වූයේ ඒ තනතුරෙන් පසු පවතින ඉහළම සුදුසුකම වන වරලත් ඉංජිනේරු තනතුර තමා සතුකර ගැනීමයි. මේ සඳහා ලංකාව ඇතුළත මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අවස්ථා පවතී. එහි දී තත්සරගේ තෝරාගැනීම වූයේ, එංගලන්තයේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය යි. මෙය වරලත් ඉංජිනේරු තනතුර ලබාදෙන ආයතන අතර ප්‍රධානතම සංගමයකි. එම අධ්‍යාපන ආයතනයේ කටයුතු අවසන් කිරීමෙන් පසු, ඔහු තමාගේ ඉලක්කය සම්පූර්ණ කරගත්තේය. ඒ පිළිබඳව ඔහු කළ පැහැදිලි කිරීම මෙසේ ය.
“සාමාන්‍යයෙන් ඉංජිනේරුවරයෙක් විදිහට උපාධියක් ලැබුවට පස්සේ, ලබාගන්න පුළුවන් ඊළඟ ඉහළම සුදුසුකම තමයි චාටඩ් ඉංජිනියර් කෙනෙක්. ඒ කියන්නෙ වරලත් ඉංජිනේරුවරයෙක් වෙන එක. මේක ලංකාවෙන් ගන්නත් පුළුවන්, ජාත්‍යන්තර වශයෙන් ගන්නත් පුළුවන්. මම මගේ වරලත් ඉංජිනේරු සුදුසුකම සඳහා තෝරා ගත්තේ මහා බ්‍රිතාන්‍යයේ තියෙන ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය. ඇත්තටම මේ සුදුසුකම සම්පූර්ණ කරන්න අත්දැකීම් අරගෙන, ඊට අවශ්‍ය පසුබිම හැදෙන්න සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක්, වයසක් යනවා. ලංකාව ඇතුළේ මීට කලින් ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය යටතේ වරලත් ඉංජිනේරුවරයකු වීමේ අවම වයස වුණේ අවුරුදු හතළිහ විතර. මගේ දැනුමේ හැටියට මට කලින් ඒ තැන හිටිය කෙනාගෙ වයස අවුරුදු තිස් අටක් විතර. ඉතින් මම චාටඩ් ඉන්ජිනියර් කොලිෆිකේෂන් එක ගත්තට පස්සේ තමයි ඒ ආයතනය මගින් මට ලිපියක් ලැබෙන්නේ, දැනට ලංකාවේ ලියාපදිංචි වෙලා ඉන්න වරලත් ඉංජිනේරුවන් අතරින් ළාබාලතම කෙනා මම කියලා. ඒ වගේම ලංකාවෙ තියන ශ්‍රී ලංකා ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය මගිනුත් ඒ බව සහතික කරල මට ලිපියක් ලැබුණා. ඇත්තෙන්ම මම මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ දේවල්වල ප්‍රතිඵල දකිනකොට ලොකු සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.”
මින් නොනැවතුණු තත්සර තමාගේ හැකියාවන් ලොවට පෙන්වා ශ්‍රී ලංකාවේ නම ලෝකයේ රටවල් 150ක් අතරින් ඉහළම තැනට රැගෙන යාමට ද කටයුතු කර ඇත. ඒ ජාත්‍යන්තර වශයෙන් ඉංජිනේරුවන් ඇගයීම සඳහා පවත්වන ලද Achievement award’s හි අනුශූරතාව දිනාගනිමිනි. මෙය සෑම වසරක් පාසාම පවත්වන අතර, ලෝකයේ විවිධ මට්ටමේ වෘත්තීය ඉංජිනේරුවරයන් සඳහා කාණ්ඩ 03ක් යටතේ මෙම ඇගයීම් ලබාදෙයි. තත්සර ඉන් Paul Fletcher Medal යන සම්මානය යටතේ අවසන් තිදෙනා අතරට තේරීපත් විය. මෙම සම්මානය සඳහා නිර්දේශ වන්නේ අවුරුදු තිස්පහට අඩු ඉංජිනේරුවන් ය. ඒ සඳහා මේ වර්ෂයේදී ලංකාව නියෝජනය කරමින් තත්සරත්, ඉන්දියාව හා කැනඩාව නියෝජනය කරමින් තවත් තරගකරුවන් දෙදෙනකුත් නිර්දේශ වී තිබේ. එහි සම්මානය ඉන්දීය ජාතික ඉංජිනේරුවරයා දිනාගෙන ඇති අතර, තත්සර සහ අනෙක් තරගකරු අනුශූරතාවය ලබාගෙන ඇත. ඔහු මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙන්නේ වයසින් අඩුම IPR කෙනෙකු වීම සහ ඔහු ඉංජිනේරුවරයකු ලෙස කරන ලද අනුපමේය සේවය හා කැපකිරීම නිමිත්තෙනි.
මේ ආකාරයට ඉතාම අඩු වයසකින් ලංකාව ඇතුළත මෙන්ම ලංකාවෙන් පිටතත්, තමාගේ නම රන්ඳා ගැනීමට සමත් වූ ඔහු, පුද්ගල ජයග්‍රහණයන් රට වෙනුවෙන්ද පුද කොට ඇත. ඔහු පවසන පරිදි විවිධ රටවල මිනිසුන් ලංකාව දැන තිබෙන්නේ, ඉන්දියාව ආසන්නයේ පවතින රටක් ලෙසයි. නමුත් මෙවැනි තරගවලට අප සම්බන්ධවීම නිසා රටට ලැබෙන කීර්තිය ගැන ඔහු පවසන්නේ ලොකු අභිමානයකිනි.
තවමත් සංවර්ධනය වෙමින් පවතින ආර්ථික හා තාක්ෂණික අතින් අඩු මට්ටමක සිටින ලංකාව වැනි රටක ජීවත් වෙමින් තරගකාරී ලෝකය සමග තරගයට යෑම එතරම්ම පහසු කටයුත්තක් නොවේ. ඒ ගැන ඔහු කීවේ මෙවැන්නකි.
“ඇත්තටම ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නෙ තමයි තාක්ෂණයේ පවතින නොදියුණු බව. වැඩ අත්දැකීම් එක්ක ගන්න තියන තාක්ෂණය හා උපකරණ අඩුපාඩුකම් නිසා ගොඩක් දේවල් මඟ ඇරෙනවා. මම දැනට ඉන්නේ දකුණු කොරියාවේ. මට ශිෂ්‍යත්වයක් හම්බවුණා, මගේ මාස්ටර් එක කරන්න. මම මෙහේ රිසර්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා. සවුත් කොරියන්වල Pukyoung National University එකේ. මම මේකෙ වැඩකරද්දි හිතුණු දේ තමයි, මේගොල්ලන්ගෙ තියෙන උපකරණත් එක්ක ලංකාවට තව අවුරුදු දහයකටවත් මේ තියන දියුණු තාක්ෂණයට එන්න බැහැ කියන එක. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. මෙයාලට මෙහේ තියෙන පොඩි ටූල්එකක් නැති වුණොත් වැඩ කරන්න බැහැ. හැබැයි ලංකාව එහෙම නැහැ. ලංකාවේ ඉංජිනේරුවන්ට තාක්ෂණය අතින් උපකරණ නැති වුණත්, ඒගොල්ලො කොහොමහරි වැඩ කරනවා. හැබැයි මේ රටවල්වල ඒ තත්වේ නැහැ. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා. එහෙම බලද්දී ලංකාවේ නොලේජ් එක තියෙනව, හැබැයි තාක්ෂණය අතින් පවතින අඩුපාඩු නිසා ඉදිරියට එන්න අවස්ථාව නැහැ.”
කවර කරදර බාධක අගහිඟකම් මධ්‍යයේ වුවත්, තමාගේ අරමුණ වෙනුවෙන් ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් නම් ඔහු සැබෑම දක්ෂයෙකි. ඇත්තෙන්ම දැන් ලෝකය බොහෝ සෙයින් දියුණුයි. අලුත් අවස්ථා බොහෝයි. ඉගෙනීමෙන් වූවත්, රැකියාවෙන් වූවත්, ජීවිතයෙන් වූවත්, ඉදිරියට යන්නට බොහෝ පැති විවර වී ඇත. ඒ අවස්ථා එකකට එකක් අලුත් ය. වෙනස් ය. නමුත් දිනුම් කණුව එකමය. ඉතින් තමා දැනගත යුත්තේ, තමාට ගැළපෙන හොඳම පාර තෝරා ගැනීමටයි. අපේ බොහෝ දෙනෙක් තමාගේ ඉදිරිය සොයාගෙන නැත්තේ, අලුත් දේවල් ගැන හරි අවබෝධයක් නොමැති නිසා යැයි ඔහු පවසයි.
“ලංකාවේ ගොඩක් දක්ෂ ඉංජිනියර්ස්ලා ඉන්නවා. හොඳ නොලේජ් එකක් තියෙන අය ඉන්නවා. හැබැයි එයාල මේ පැසිලිටීස් ගැන හොයන්නේ නැහැ. International level එකේ මේ වගේ තරග, සම්මාන උළෙලවල් තියනවා ද කියල හොයන්නෙ නැහැ. ලංකාව ඇතුළට හිරවෙලා ඉන්නවා. ලංකාව ඇතුළෙ කරන්න, වැඩ පෙන්නන්න, තැනක් හොයා ගන්න නැහැ. ඉතින් මම කියන්නේ ලංකාව ප්‍රමෝට් කරන්න අපේ තියෙන දැනුම ලෝකයට පෙන්වන මේ වගේ හොඳ අවස්ථාවන් හොයාගෙන යන්න ඕන. බය නැතුව ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධවෙලා වැඩකටයුතු කරන්න උත්සාහ කරන්න. දවසෙ වැඩ කරලා ඒ පොඩි කොටස ඇතුළෙ ඉන්නැතුව ලෝකේ ගැන හොයන්න ඕන. ලෝකයේ තියෙන අලුත් දේවල් අත්හදා බලන්න උත්සාහ කරන්න ඕන. අපිට යන්න පුළුවන් තැන් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. ලෝකෙත් එක්ක ඉස්සරහට යන උත්සාහ කරන්න ඕන. එතකොට අපිට පෞද්ගලිකවත්, රටක් වශයෙනුත් හොඳ ගමනක් තියේවි.”
ඔහු වසර තිහක් ඇතුළත ලබාගත් ජයග්‍රහණය ඇත්තෙන්ම ඇගයිය යුත්තකි. බොහෝ දෙනෙක් ලංකාව තුළ තියන අඩුපාඩු සොය සොය තමන්ට පහසුකම් නැති නිසා ඉදිරියට යන්නට බැහැය වැනි අඳෝනා නගමින්, දෙස් දෙවොල් තබමින් කල් අරින වේලාවෙහි, තමාට ඒ සඳහා තියන වෙනස් විකල්පයන් හඹාගොස් තමාට ගැළපෙනම මාර්ගය සොයා ගැනීම තමා සතු යුතුකමක් බවත්, තමාගේ ජයග්‍රහණයන් වෙනුවෙන් කරන කැපකිරීම් මතුදිනක තමා ගැනම ආත්මාභිමානය ගෙන දෙන හැඟීමක් වනු ඇති බවත්, සිහිතබා ගනිමින් කටයුතු කළ යුතුයි. ඒ අභිමානය, ජයග්‍රහණය අවසානයේ කෙදිනක හෝ ඔබට දැනෙනු ඇත.
දුලක්ෂි ලියනගේ