පෙමින් බැඳෙන්නා වූ දෙදෙනෙකුගේ බලාපොරොත්තුව වනුයේ විවාහ උත්සවයක් පවත්වා එකට වෙළී, එක් වහලක් යට සමගියෙන් සතුටෙන් ජීවත්වීමය. දෙදෙනෙකු අතර ඇතිවන ඉතා වැදගත් බැඳීමක් වන විවාහය, හුදෙක් නීතිමය ගිවිසුමක් පමණක් නොව, ආදරය, විශ්වාසය, ගෞරවය සහ සහයෝගය මත පදනම් වූ ජීවිත කාලය පුරාම පවතින සබඳතාවකි. විවාහයෙන් දෙදෙනෙක් එක්ව ජීවිතයේ සතුට, දුක, අභියෝග සහ ජයග්‍රහණ බෙදාගනිති. මේ අනුව විවාහ උත්සවයක් යනු ජීවිතයේ සොඳුරුතම මතක සටහනකි.
මේ සටහන විවාහ මංගල්‍යයක් පිළිබඳවය. නමුත් එය එක් යුවළක් අතිනත ගන්නා විවාහ මංගල්‍යයක් නොව මනාල මනාලියන් යුවළ 108 ක් අතිනත ගත් ඓතිහාසික සමූහ විවාහ මංගල උත්සවයක් පිළිබඳවය. මෙම මංගල උත්සවය සිදුවූයේ යාපනය, තොන්ඩමන්නාරු සෙල්වසන්නිධි මුරුගන් කෝවිලේදී ය.
දිනය ඉකුත් අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දාය. එදින යාපනය, තොන්ඩමන්නාරු සෙල්වසන්නිධි මුරුගන් කෝවිලේ ප්‍රධාන ශාලාව මංගල උත්සව ශාලාවක සිරි ගෙන තිබුණේ මනාල මනාලියන් යුවළ 108 ක් හින්දු චාරිත්‍රානුකූලව එකම නැකතක දී විවාහ දිවියට පත්කරවීමේ මංගල උත්සවය වෙනුවෙනි. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක පදිංචිව සිටින අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි මෙම පිරිස එකම නැකතකට තැල්ල බැඳීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහ වීම සිදු විය. විවාහ උත්සවයේ සියලු වියදම් දරන ලද්දේ යාපනයේ උපන්, දැනට සිංගප්පූරුවේ පදිංචිව සිටින ව්‍යාපාරික ටී. දුරෙයි විසිනි. ටී. දුරෙයි විවාහ උත්සවය ගැන අදහස් දැක්වීමට ඉරිදා ලංකාදීපය සමඟ සංවාදයට එක් විය.
“මම ඉපදුණේ යාපනයේ. දැන් මම සිංගප්පූරුවේ ව්‍යාපාරික කටයුතුවල නිරතවෙනවා. සෙල්වසන්නිධි මුරුගන් කෝවිලේ පවත්වන මංගල උත්සවය වෙනුවෙන් මම, බිරිඳ සුමදිනි, පුතා සහ දුව යන හතර දෙනාම සහභාගි වුණා. මගේ දුව පදිංචි වෙලා ඉන්නේ ලන්ඩනයේ. මගේ දුව විවාහ වෙලා ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින්, මගෙයි බිරිඳගෙයි අදහසක් තිබුණා, අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටින පිරිසක් තෝරා ගෙන විවාහ කටයුතු සිදුකර දිය යුතුයි කියලා.”
“මම කසාද බැඳලා වසර 41 ක් වෙනවා. අපි දෙන්නා ඒ කාලය තුළ ඉතාමත් සතුටින් හිටියා. දැන් මගේ දුවත් කසාද බැඳලා සතුටින් ඉන්නවා. ඒ වගේම මේ අයත් එහෙම සතුටින් ඉන්න ඕන. එ්කයි අපේ පවුලේ සතුට.”
ටී. දුරෙයි විශේෂයෙන් සඳහන් කළේ, මෙම උත්සවය සංවිධානය කිරීමට මූලිකත්වය ගත්තේ තම දියණියගේ විවාහ මංගල්‍යයේ දී ඇතිවූ අනුස්මරණීය සිතුවිල්ලක් මත බවය.
“විවාහයක් කරගන්න එක සෑම ආදරණීය යුවලකගේම සිහිනයක්. නමුත් ආර්ථික දුෂ්කරතා නිසා බොහෝ යුවලවලට ඒ සිහිනය ඉටු කරගන්න බැරි වෙනවා. මගේ දුවගේ විවාහය සිදුවුණේ ලන්ඩනයේ දි. දියණියගේ විවාහය දිනයේ මට ඒ ගැන හිතුණා. ඒ නිසා මට හැකි විදිහට මේ උත්සවය සිදු කළා. සෑම මනාළ යුවළකටම පවුම් බාගයක තාලිය හා තාලි ලණුව ද, ඊට අමතරව මනාලියන්ට කූරෛ සාරිය බැගින්ද, මනාලයන්ට කමිස හා වේට්ටි සහ විවාහ උත්සවයට අවශ්‍ය අනෙකුත් උපකරණ ද මා පරිත්‍යාග කළා.”
ඔහු කියයි.
හින්දු සංස්කෘතියට අනුව, විවාහ දිනයේ මනමාලයා විසින් මනාලියගේ ගෙල පලඳන තැල්ල, තාලිය නමින් දමිළ බසින් හඳුන්වනු ලැබේ. දමිළ සංගම් සාහිත්‍යයේ කියැවෙන පරිදි ගලවා ඉවත් කළ නොහැකි පුරුෂයා සංකේතවත් කරන ආරක්ෂක යන්ත්‍රයක් වශයෙන් තාලිය පැවති බව සඳහන් වේ. පසුකාලීනව විවාහ ආභරණ අතර කාන්තාව සඳහා වෙන් වූ විශේෂ ආභරණයක් ලෙස තාලිය යොදාගන්නා ලදී.
මේ අනුව ටී. දුරෙයි ඔහුගේ මූල්‍ය දායකත්වය මඟින් මෙම උත්සවයේ මනාල මනාලියන් සඳහා අවශ්‍ය සියලු වියදම්, ආභරණ, ඇඳුම් පැලඳුම් සහ භෝජන සංග්‍රහය ද ඇතුළත්ව සම්පූර්ණ විවාහ උත්සවය සංවිධානය කර ඇත. ඔහු විසින් සෑම යුවළකටම රන් පවුම් භාගයක් (ආසන්න වශයෙන් ග්‍රෑම් 4 ක්) පමණ වූ රන් තැල්ලක් තිළිණ කර ඇත. වැඩිදුරටත් ටී. දුරෙයි මෙසේ සඳහන් කළේය.
“යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවේම ප්‍රාදේශීය ලේකම්වරුන්ටත්, ග්‍රාම නිලධාරි මහත්මා මහත්මීන්ටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි, ග්‍රාම නිලධාරි මහත්වරුන්ට ද, යාපනය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනෙකුත් මහත්මා මහත්මීන්ට ද බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ නිලධාරි මහත්වරුන් තමයි, අඩු ආදායම්ලාභී පවුල් ගැන තොරතුරු ලබා දුන්නෙ.”
සෙල්වසන්නිධි මුරුගන් කෝවිලේ ප්‍රධාන ශාලාව මංගල උත්සව ශාලාවක සිරියක් ගෙන දෙමින් මනාල යුවළ පිරිස වෙනුවෙන් මංගල පෝරු සංකේතවත් කරන තනි පීඨිකා චතුරස්‍රයක් ඉදිකර තිබිණ. එමෙන්ම ආරාධිත අමුත්තන්, මනාල මනාලියන්ගේ ඥාතීන් වෙනුවෙන් ද විශේෂිත වූ ස්ථානයක් ඉදිකර තිබිණ. මෙම මනාල මනාලියෝ හින්දු සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටියහ. සියලු මනාල මනාලියන් පීඨිකා චතුරස්‍රයෙහි බිම වාඩිවීමෙන් අනතුරුව හින්දු මංගල භේරි වාදන මධ්‍යයේ මනාලයා විසින් මනාලියගේ ගෙල මත තැල්ල බඳිනු ලැබිණ.
දිස්ත්‍රික් ලේකම් එස්. සුදර්ශන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මනාල මනාලියන්ගේ ඥාතීන්, ප්‍රදේශවාසීන් සහ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
යුවළක් චාරිත්‍රානුකූලව මෙන්ම නීත්‍යනුකූලව ද විවාහවීම වැදගත් වන අතර ආරාධිත අමුත්තන් අතින් මනාල යුවළ වෙත විවාහ සහතික පිරිනැමීම ද සිදුකෙරිණ. උත්සවය අවසානයේ දී දිවා භෝජන සංග්‍රහයක් ද උත්සව පරිශ්‍රයේ දී පවත්වනු ලැබිණ.
මෙම සමූහ විවාහ උත්සවය යාපනයේ අඩු ආදායම්ලාභී පවුල්වල අයට ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂ මොහොතක් ආර්ථික බරකින් තොරව සැමරීමේ අවස්ථාව සලසා ඇත. එසේම, මෙම උත්සවය හින්දු ආගමික හා සංස්කෘතික චාරිත්‍රවල වැදගත්කම ඉස්මතු කරමින්, යාපනයේ ප්‍රජාව තුළ එකමුතුකම හා සහයෝගිතාව වැඩිදියුණු කිරීමට ද බෙහෙවින් ඉවහල් වන බව සඳහන් කළ යුතුය.
එම්. තාරික්