“පැන්ෂන්” මන්ත්‍රීවරුන් 266 දක්වා ඉහළට


  • අවුරුද්දක වියදම කෝටි 15 යි
  • මන්ත්‍රී වැන්දඹුවන් 120 කටත් වැටුප්

සුජිත් හේවාජුලිගේ

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.   


මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මියගොස් සිටින හෙයින් එම විශ්‍රාම වැටුප් ඔවුන්ගේ බිරින්දෑවරුන් (වැන්දඹුවන්) ලබා ගන්නා බව වාර්තා වේ. 

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 15 කට ආසන්නය.  එම වාර්තාවේ දැක්වෙන අන්දමට විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 15කි.   


මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් විසි තුන් දෙනකුද විශ්‍රාම වැටුප ලබා ගන්නා බව සඳහන් කරන එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුද විශ්‍රාම වැටුප් ලබන බව සඳහන් කරයි.   


එල්ලාවල මේධානන්ද, උඩුවේ ධම්මාලෝක, කොටපොල අමරකිත්ති, අක්මීමන දයාරතන, අපරැක්කේ පුඤ්ඤානන්ද එම ස්වාමීන් වහන්සේලා වෙති. විශ්‍රාම වැටුප් ලබන කලාකරුවන් වන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4කි. මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක එම සිවු දෙනා වෙති.   
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද විශ්‍රාම වැටුප් ලබති. අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය එම දෙදෙනාය.   


දේශපාලන, ආගමික සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතකු මෙන්ම සන්නිවේදකයකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර ඔහුටද විශ්‍රාම වැටුපක් හිමි වන්නේය.   


සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් (රුපියල් 54,000) තුනෙන් එකකට එනම් රුපියල් 18,095ක මුදලට, තවත් රුපියල් 25,000ක දීමනාවක් එක්වීමෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප සැකසෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 43,095කි. රුපියල් 25,000ක දීමනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට එක්වූයේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ කාලයේදීය.