’ඇමැති රොෂාන්ගේ ආරක්ෂාව වැඩි කරන්න’ බුද්ධි අංශ කියයි


සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

ක්‍රිකට් ආයතනයෙහි දූෂණ සම්බන්ධයෙන් කළ හෙළිදරව්වෙන් පසුව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ඍජුව සහ වක්‍රව විවිධ තර්ජන එල්ලවෙමින් පවතින හෙයින්  ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ අදාළ අංශවලට දැනුම්දී ඇතැයි  විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ අනාවරණවලින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට එරෙහිව ඉදිරි කාලයේදී පුළුල්ව හඬ නැගීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ  විද්වතුන්ගෙන් සමන්විත වෙනම සංසදයක් පිහිටුවීමට සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කර ඇත.


එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන  දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන විමර්ශන ආයතනවලටත්  ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය  ඇතුළු සංවිධාන රැසකටත් එකවර පැමිණිලි  100 ක්  යොමු කිරීමටත් විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.


එම පැමිණිලි කිරීම් ඉදිරි දිනවල කෙරෙනු ඇත.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට එරෙහිව ප්‍රබල හඬක් නැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් කඩිනමින් පිහිටුවා ගැනීම ඉතාම  වැදගත් බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු රැස් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය විසින් වෙනම කණ්ඩායමක් දැනටමත් පත් කරනු ලැබ ඇත.