හිටපු ඇමැතිවරුන්, කාර්ය මණ්ඩල පාවිච්චි කළ පළාත් සභා සැප වාහන 200ක් මකර කටේ


වහාම සොයා බලන්නැයි රාජ්‍ය ඇමැතිගෙන් නියෝග

සුජිත් හේවාජුලිගේ

පළාත් සභාවල ඇමැතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල පාවිච්චි කළ සුඛෝපභෝගී වාහන දෙසියක් පමණ ඒ සඳහා අයිතියක් නැති පුද්ගලයන් පාවිච්චි කිරීම හේතුවෙන් විනාශ වෙමින් පවතින බව වාර්තා වේ. 

මේ හේතුවෙන් එම සභාවලට ඉදිරියේදී පත්වන ඇමැතිවරුන් සඳහා වාහන සැපයීමේදී ගැටලු‍කාරී තත්වයක් මතුවනු ඇතැයි පළාත් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.   
මේ සම්බන්ධයෙන් අප පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් පළාත් ලේකම්වරුන්ට විශේෂ උපදෙස් මාලාවක් ලබාදී ඇති බවයි. මෙම වාහන සංචිතවල වෙන් කර තබන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේය.   


මීට අමතරව මෙම වාහන සම්බන්ධයෙන් විගණනයක් පවත්වන ලෙස ජානක වක්කුඹුර මහතා රජයේ විගණකාධිපතිවරයාට දැනටමත් දැනුම්දී ඇත.   
පළාත් සභා ඇමැතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පාවිච්චි කළ වාහන එම සභාවල නිල කාලය අවසන්වීමෙන් පසු ඒ සභාවලට බාරදෙනු ලැබීය.