හවුති ප්‍රහාර මඬින ඇමරිකාවේ මෙහෙයුමට ලංකාවෙන් තල්ලුවක්


ඉරානයේ සහාය ලබන හවුති ත්‍රස්ත කණ්ඩායම් වාණිජ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ යුද නෞකාවක් රතු මුහුදට යැවීමේ හැකියාව අධ්‍යයනය කරමින් සිටින්නේ, එක්සත් ජනපදය විසින් මෑතකදී දියත් කරන ලද මෙහෙයුමකට සහාය දීම සඳහා ඔවුන් කළ ඉල්ලීමකට පිළිතුරක් වශයෙන් බව ඉරිදා ලංකාදීපයට වාර්තා වේ.

නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාවික හමුදාවට අයත් නෞකාවක් රතු මුහුදට යැවීම අභියෝගයක් බවත්, ඔවුන් මේ වනවිට ශක්‍යතා අධ්‍යයනයක් කරමින් සිටින බවත්ය. මෙවැනි නෞකාවක් යෙදවීමට පෙර,  සැපයුම් සකස් කළ යුතු අතර මේ ආකාරයේ යෙදවීමක් සඳහා ප්‍රබල ආයුධ ද අවශ්‍ය වන බවත් සඳහන් වේ. රතු මුහුදේ තර්ජන විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් කාර්යයක් වේ. 


මෙම මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් පිටත් කර හැරීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිණ නොමැති බවද තවමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අවශ්‍යතාවක් ඇති වුවහොත් මෙම මෙහෙයුම් සඳහා නාවුක හමුදාව සූදානමින් සිටින බවද වාර්තාවෙයි. 
හවුති කැරලිකරුවන් නැව්වලට පහර දීම සහ මුහුදු මාර්ගයේ වෙළෙඳාම අවහිර කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් රතු මුහුදේ යොදවන බව බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. යේමනයේ හවුති කැරලිකරුවන්ගෙන් දිගින් දිගටම එල්ල වන ප්‍රහාර හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකා රතු මුහුදු මාර්ගය භාවිත කිරීම නවතා ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. දකුණු අප්‍රිකාව වටා මෙම යාත්‍රා නැවත මාර්ගගත කිරීම භාණ්ඩ මිල ඉහළ යාමට වක්‍රව දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


දුෂ්කරතා මධ්‍යයේ වුවද සෑම දෙසතියකට වරක් රුපියල් මිලියන 250 ක වියදමින් නාවික හමුදාවට අයත් යාත්‍රාවක් රතු මුහුදේ යෙදවීමට ශ්‍රී ලංකාවට සිදු වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ගාසා තීරයේ අඛණ්ඩව සිදු​ෙවන ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර වශයෙන් යේමනයේ ඉරාන සහාය ලබන හවුති ඒකක රතු මුහුද හරහා ගමන් කරන වාණිජ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. ඔක්තෝබර් 7 යුදෙව් රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව මෙහෙයුම් දියත් කළේය.


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20කට  වැඩි  සංඛ්‍යාවක් යුද නැව් යොදවා  මෙම මෙහෙයුමට  දායක වන ලෙස එක්සත් ජනපදය ඉල්ලා ඇත. අත්‍යවශ්‍ය නැව් මාර්ගය ආරක්ෂා කිරීම සඳහා නව සමුද්‍රීය කාර්ය සාධක බලකායක් වන(Operation Prosperity Guardian,) සඳහා රටවල් 20 ක් අත්සන් කර ඇති බව එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබේ.


එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශ නාවික හමුදාව විසින් හවුති විසින් දියත් කරන ලද ඩ්‍රෝන හෝ මිසයිල වෙඩි තබා බිම හෙළා ඇති බව ජාත්‍යන්තර පුවත් ඒජන්සි පවසයි.


යුද නෞකාවක් රතු මුහුදේ ස්ථානගත කිරීමට විශාල මුදලක් වැය වනු ඇති අතර වත්මන් ආර්ථික තත්ත්වය ද සලකා බැලිය යුතු බව මෙහි ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී  ලංකාව සතුව (Advanced Offshore Patrol Vessels-AOPVs) හා Offshore Patrol Vessels (OPVs) ගණයේ ප්‍රධාන පෙළේ මුර යාත්‍රා ගණනාවක් ඇති අතර, ඒවා සාර්ථක මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා යොදවා ඇත.