හයිටෙන්ෂන් වයරයකට අකුණක් ගැහුවොත් කරන්ට් නෑ


නිසි ක්‍රමවේදයක් හදන්නැයි විදුලි ඉංජිනේරුවෝ ඉල්ලති

ඉන්දික හේවාවිතාරණ

අධිබලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිත වුවහොත්  විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා තවමත් නිසි ක්‍රමවේදයක් සකස් කර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් 09දා පස්වරුවේ කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධිබලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිත වීමෙන් විදුලිය සැපයුම් පද්ධතිය අක්‍රීය වූ බවත්, එය යථා තත්වයට පත් කර ගැනීමට පැය 5කට ආසන්න කාලයක්  ගත වූ බවත් එම සංගමයේ සම ලේකම් නන්දන උදයකුමාර මහතා සඳහන් කළේය.
2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ දී මෙවැනි සිද්ධින් පහක් ඇතිවී තිබෙන බවත්, පසුගිය දෙසැම්බර් මාසයට පෙර ඇති වූ සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටු  මගින් මෙවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා නිර්දේශ පවා ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා පැවසීය.


දෙසැම්බර් මාසයේ දී වූ සිදුවීම සම්බන්ධයෙන් ද සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් කමිටු වාර්තාව තවමත් එළි දක්වා නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සභාපති ධුරය හොබවන කාලයේ දී මෙවැනි තත්වයන් වළක්වා ගැනීමට සිදු කළ යුතු දේවල් පිළිබඳව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.


දැනට  පවතින තත්වය තුළ  අධිබලැති  විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිත වුවහොත් යළිත් පද්ධතිය අක්‍රිය විය හැකි බවත්, මේ නිසා මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් හෙතෙම පැවසීය.


2015 වසරේ එක් අවස්ථාවකදීත් 2016 වසරේදී අවස්ථා දෙකකදී හා 2020 වසරේ එක් අවස්ථාවකදීත් 2021 වසරේ එක් අවස්ථාවකදීත්   පසුගිය වසරේ එක් අවස්ථාවකදීත්  දිවයිනටම බලපාන ලෙස විදුලිය විසන්ධි වීම සිදුව තිබේ.