සෞඛ්‍යයේ කැඩුණු යන්ත්‍ර හදන්න කෝටි 400ක් ඉල්ලයි


අජන්ත කුමාර අගලකඩ

රටපුරා  රෝහල්වල අක්‍රිය වී ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 400 ක මුදලක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ආර්ථීක කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස්. සමරතුංග මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.


එම මුදල කඩිනමින් ලැබෙන්නේ නම්, අක්‍රිය වී ඇති යන්ත්‍රෝපකරණ  අලුත්වැඩියා කර, රෝහල්වල කටයුතු යථාතත්ත්වයට පත්කරගත හැකි බවද අමාත්‍යාංශය එම ලිපියෙන් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප කළ විමසීමකදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, රෝහල්වල අක්‍රිය වී ඇති යන්ත්‍රෝපකරණවල ලැයිස්තුවක් සහ ඒවා අලුත්වැඩියා කිරීමට යන වියදම සඳහන් කර ආචාර්ය සමරතුංග මහතා වෙත මෙම ලිපිය යවා ඇති බවය.


රෝහල්වල අක්‍රිය වී ඇති යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා මුදල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය එතරම් උනන්දුවක් නොදක්වන බැවින්, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය  සමරතුංග මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ලිපිය යැවූ බවත්, මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඔහු සුබවාදී ප්‍රතිචාරයක සිටින බවත් ඇමතිවරයා සඳහන් කළේය.


කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය, අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් රැසක සී.ටී. ස්කෑන් යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ රැසක් මේ වන විට  අක්‍රිය වී ඇති අතර, ඒ හේතුවෙන් රෝගීහු  දැඩි පීඩාවකට පත්ව සිටිති.


එම යන්ත්‍රෝපකරණ   සැපයූ සමාගම් සමග වසර තුනකට පමණ පෙර ඇති කරගත් සේවා   ගිවිසුම් අලුත් නොකිරීම මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඇමැතිවරයා කීවේය.
මේ අතර, රෝහල්වල ඖෂධ හිඟය ද පවතින බව කී ඇමතිවරයා ඒ  සඳහා ද  මුදල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව කීවේය.


ඖෂධ වර්ග ගණනාවක මිල සියයට 10කින් අඩු කළා සේ,  ඖෂධ මිල ගණන් මාස තුනකට වරක් තීරණය කිරීමට මිල සූත්‍රයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද ඇමති රඹුක්වැල්ල මහතා කීවේය. මේ අතර, ඖෂධ මිලදී ගැනීමට සහ මිලදී ගත් ඖෂධ වෙනුවෙන්  සැපයුම්කරුවන්ට ගෙවීම සඳහා රුපියල් කෝටි තුන්දාහක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.