සෞඛ්‍ය ඇමති පොරය නැවත ඇවිළෙයි


සටන විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන්

සුජිත් හේවාජුලිගේ 

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව  විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමග එම අමාත්‍ය ධුරය ඔහුගෙන් ඉවත් කර  තමන්ට ලබා දෙන්නැයි මන්ත්‍රීවරුන්  සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් පසුගිය දිනවල නැවතත්  දැඩි ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

මින් අයකු විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. ඔහු දිගින් දිගටම එම ධුරය ඉල්ලා සිටින බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.


සෞඛ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පැවසුවේ මේ තනතුර ලබාගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පුතා ඇඳුම් පවා මසාගෙන සිටින බවයි. 


මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය ද මේ වසරේ දී නොකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය. මුදල් අර්බුදයක් පවතින අවස්ථාවක ඇමැතිධුර පත් කිරීමේ හැකියාවක් නැති බව ජනාධිපතිවරයාගේ අදහස යැයිද  එම ආරංචි මාර්ග පැවසුවේය.