සුදුසුකම් පරීක්ෂාවකින් තොරව ග්‍රාමීය කොන්ත්‍රාත් බෑ


භාණ්ඩාගාර ලේකම්ගෙන් චක්‍රලේඛයක්

(දයාසීලි ලියනගේ)  

ග්‍රාමීය මට්ටමේ සංවිධානවලට කොන්ත්‍රාත් භාරදීමේදී සුදුසුකම්ලත් කමිටුවක් මගින් සුදුසුකම් පරීක්ෂා කළයුතු බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා සියලුම ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දන්වා ඇත. 

මෙම කොන්ත්‍රාත් බාරදීමේදී විවිධාකාර දේශපාලන හිතවත්කම් මත නොවටිනා ගණන්වලට කොන්ත්‍රාත් පවරන බවට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.  


එබැවින් ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝජිතයන් දෙදෙනකුගෙන් සමන්විත කමිටු පිහිටුවන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා උපදෙස් දී ඇත.  
එම කමිටුව මගින් කොන්ත්‍රාත්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන ලෙසටත් පළපුරුද්ද හා හැකියාව පිළිබඳව සොයා බැලීම් කළයුතු බවද සඳහන් වේ. ඒ අනුව සමෘද්ධි, විවිධ සේවා සමුපකාර, කම්කරු, ග්‍රාම සංවර්ධන, පාසල් සංවර්ධන, ගොවි සංවිධාන, විහාරස්ථ දායක සභා ඇතුළු ගම් මට්ටමේ සමිතිවලට කොන්ත්‍රාත් පැවරීමේදී සුදුසුකම් හා පලපුරුද්ද සොයා බැලීම අනිවාර්ය කර ඇත.