සීමා නිර්ණය වාර්තාව බාරදී ඇතත් මෙතෙක් ක්‍රියාමාර්ග අරගෙන නෑ


- පැෆ්රල්

ඉන්දික හේවාවිතාරණ

පළාත් පාලන අායතන සීමා නිර්ණය සඳහා පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව විෂය භාර අමාත්‍යාංශයට භාර දී  ඊයේ (11) දිනට මාස හතක් ගත වී ඇතත් ඊට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

මෙම කමිටුව කඩිනමින් පත්කළ කමිටුවත් බවත් අදාළ කමිටුව පසුගිය වසරේ  නොවැම්බර් මාසයේදී පත් කළ බවත් එම කමිටුව විසින්  සකස් කළ වාර්තාව මේ වසරේ අප්‍රේල් 11 වැනි දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට භාර දී තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
අදාළ කටයුතු සඳහා විශාල මුදලක්ද වැය වී තිබෙන බවත්,  මේ වසරේ මාර්තු 09 වැනි දින පැවැත්වීමට තිබු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනි දින දක්වා කල් දැමු බවත්, එහෙත් මේ වෙන විට මෙම ඡන්ද විමසීම පැවැත්වීමත් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බවද පවසා සිටියේය


සීමානිර්ණය සඳහා පත්කළ කමිටුව විසින් ලබා දුන් වාර්තාවට අනුව සීමා නිර්ණය කටයුතු කඩිනමින් සිදුකර පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතුව තිබෙන බවත්, එහෙත් අදාළ කටයුතු සිදුකිරීම සඳහා වගකිවයුතු පාර්ශ්වයන් උනන්දුවක් නොදක්වන බවද සඳහන් කළේය.


මාර්තු 09 වැනි දින පැවැත්වීමට සැලසුම් කළ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මුද්‍රණ කටයුතු හා අනෙකුත් කටයුතු සඳහා රුපියල් බිලියනකට ආසන්න මුදලක් වැය කර තිබු බවත්, ගෙවීගිය කාලය සැලකීමේදී කමිටු පත් කරමින් සිදුකරනු ලැබුවේ ඡන්ද කල් දැමීම බවද පවසා සිටියේය. 


පළාත් සභා ඡන්ද විමසීම පවා වසර ගණනාවක සිට කල් යමින් තිබෙන බවත්,  එසේ තිබියදී මැතිවරණ ක්‍රමයේ වෙනස් කම් සඳහා මේ වෙන විට තවත් කමිටුවක් පත් කර තිබෙන බවද සඳහන් කළේය.