සියලු කොමිෂන් සභා ඉක්මනින්ම පත්කිරීමට තීරණයක්


පුවත්පත් දැන්වීම් ලබන සතියේ සිට

සුජිත් හේවාජුලිගේ   

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ඉතාම කෙටි කලකින් පිහිටුවා අවසන් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.  

මේ අනුව ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් ලබන සතියේ සිට පළ කිරීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   


පුවත්පත් දැන්වීම් පළ කිරීමට අදාළ උපදෙස් පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනටමත් ලබාදී ඇතැයි වාර්තා වේ.   


ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට එම දැන්වීම් පළ කළ දින සිට සති දෙකක කාලයක් දෙනු ලබන බවත් අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විස්තරද පුවත්පත් දැන්වීම් හරහා ප්‍රසිද්ධියට පත් කරන බවත් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.   
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි එකඟත්වයක් ඇතිවී නැති අතර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන සතියේ නැවතත් රැස්වීමට නියමිතය.   


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 25 වැනිදා පෙරවරුවේ පැවැත්වුණු අතර එම සභාව ඉදිරියේදී රැස් වන ආකාරය ඇතුළු එහි කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.