සියයට 36 ක වැටුප් වැඩිවීම නොදුන්නොත් වරාය අවුල්


ඉන්දික හේවාවිතාරණ

වරාය අධිකාරියේ සේවකයන්ට ලබන වසරේ ජනවාරි 01 වැනි දින සිට සියයට තිස්හයක (36%) වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවත් එම ඉල්ලීමට මේ මස 08 වැනි දින යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් වරාය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.

2024 ජනවාරි 01 වැනි දින සිට 2026 වසර දක්වා වසර තුනක කාලයක් සඳහා 36% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා වරාය පාලන අධිකාරියට  පසුගිය 26 වැනි දින යොජනාවක් භාර දුන් බවත්, මීට අමතරව වරාය  වාර්ෂීක ලාභයෙන්  10% ක මුදලක් සේවකයින්ට ප්‍රසාද දීමනා වශයෙන් ලබාදීමට වෙන්කරන ලෙසට හා  දැනට  වැටුප් වර්ධකයට ගෙවන මුදල දෙගුණයක් සිදුකරන ලෙසටත් ඉල්ලීමක් සිදුකළ බවත් එම එකමුතුවේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන්  පසුගිය 02 වැනි දින වරාය වෘත්තිය සමිති හා පාලන අධිකාරිය අතර සාකච්ඡාවක් සිදුකළ බවත්, එහිදී  15% ක වැටුප් වැඩිවිමක් හා රුපියල් දොළොස් දහස් පන්සියක (12,500) දීමනාවක් ලබා දීම පිළිබඳව පාලන අධිකාරිය ප්‍රකාශයට පත් කළ බව ද පවසා සිටියේය.


පාලන අධිකාරිය විසින් සිදුකළ යොජනාවට වෘත්තිය සමිති කැමැත්ත පළනොකළ බවත්, මේ අනුව මේ මස 08 වැනි දින යළිත් පාලන අධිකාරිය සමග සාකච්ඡා  කිරීමට තිරණය කළ බවත් සඳහන් කළේය.


වරාය සේවකයන්ට වැටුප් වැඩිවීම් සිදුවෙන්නේ වසර තුනකට වරක් බවත්, මේ අනුව 2021 වසරේදී අත්සන්කළ  සාමුහික වැටුප් ගිවිසුම මේ වසරේ දෙසැම්බර් 31 වැනි දින අවසන් වෙන බවත්,  මේ අනුව 2024 වසරේ සිට 2026 දක්වා කාලයට අදාළව සාමුහික ගිවසුම් අත්සන්  කළ යුතු බවත් පවසා සිටියේය.


වරාය අධිකාරිය විසින් අදායම් උපදවා දෙන ආයතනයක් බවත් එහෙත් අඩුම ප්‍රසාද දීමනාව හිමිවෙන්නේ වරයා සේවකයින්ට බවත් මේ නිසා සමස්ත ලාභයෙන් 10% ක් ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට මුදල් වෙන්කරන ලෙසටත් ඉල්ලා තිබෙන බවත් පවසා සිටියේය.


පවතින ආර්ථික ගැටලු නිසා හා අසාධාරණ ලෙස බදු අයකර ගැනීම් නිසා සේවකයන්ට ලැබෙන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන නිසා වැටුප් වර්ධකය ලෙස ලබා දෙන මුදල ජනවාරි මාසයේ සිට දෙගුණයක්  බවට පත් කරන ලෙසටත් පාලන අධිකරියට දැන්වු බවද සඳහන් කළේය.


පසුගිය වසර සැලකීමේදී වරාය අධිකාරිය රුපියල් බිලියන හතළිස් දෙකකට (42) වැඩි මුදලක් ලාභ ලෙස උපයා ගෙන තිබෙන බවත්, අදාළ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර නොලබුණහොත් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන  බවද  පවසා සිටියේය.