සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි


(ඩයනා උදයංගනී)

රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් යළිත් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ජනතා සටනට සහය දීම සඳහා අඩියක් පෙරට තබා තනතුරු අත්හැර සිටි තමන් යළිත් නියෝජ්‍ය කතානායක තනතුරට පත්වීම නිසා ඉකුත් 5 වැනිද‌ා සිට ඔවුන් සිය සතුරකු ලෙස දකින බව පෙනී යන බවත්, ඒ නිසා මෙම තීරණය ගන්නා බවත් ඔහු ජනාධිපතිවරයාට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි දැක්වේ.
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී අවසන් මොහොතේ විපක්‍ෂයේ ඇතිවූ බෙදීම මත නම් දෙකක් ඉදිරිපත් වූ බවත්, රහස්‍ය ඡන්දයකින් තෝරාගත්තත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමාට සහය දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා රටේ ජනතාව තුළ ඇතිවී ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන බවත් ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.


ජනතාව අසීමිත ලෙස පීඩාවට පත්ව සිටින අවස්ථාවක එක් මොහොතක් හෝ පොදුජන සටනේ සතුරකු ලෙස දැකීම කිසිසේත් දරාගත නොහැකි බව ද ඔහු එහි දක්වා තිබේ.


හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉකුත් දා එම ධුරයෙන් ඉල්ලා අස්වූ නමුත් නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරාපත්කරගැනීමට ඉකුත් 5 වැනිද‌ා පැවති ඡන්ද විමසීමේදී ඔහු යළිත් එම ධුරයට පත්විය.