සාමාන්‍ය පවුලක බදුබර සියයට 42කින් වැඩිවෙලා


මසකට ගෙවන බද්ද රුපියල් 28,000 යි

පේරාදෙණිය සරසවියේ පරීක්ෂණයකින් හෙළිවෙයි

 

සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී සියයට 42කින් පමණ වැඩිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇත.

 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක් (සිවු දෙනකුගෙන් යුතු) මාසයකට රුපියල් 28,000 බදු මුදලක් රජයට ගෙවන බව එම පරීක්ෂණයේදී තොරතුරු හෙළිවූයේ යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.   


භාණ්ඩ මිල ඉහළයාම නිසා ජනතාව මත පැටවුණු වක්‍ර බදු බර 2021 සිට 2022 දක්වා කාලයේදී තුන ගුණයකින් පමණ වැඩිවී ඇති බව පවසන මහාචාර්යවරයා සාමාන්‍ය පවුලක් මාසයකට ගෙවන වක්‍ර බදු ප්‍රමාණය රජයේ නව බදු සංශෝධන හේතුවෙන් රුපියල් 4000 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයිද සඳහන් කළේය.   
ජාතික දරිද්‍රතා මායිමේ සිටින පවුලක් මේ වසරේ ජුලි මාසයේදී රුපියල් 3900ක වක්‍රබදු ප්‍රමාණයක් මාසිකව ගෙවූ බවත් ඒ අනුව එම පවුලක් දිනකට රජයට ගෙවූ වක්‍ර බදු ප්‍රමාණය රුපියල් හාරසිය හැටක් බවත් ඔහු කීවේය.   


ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත් විට (පවුල් පන් ලක්ෂ හැත්තෑ දහසක්) රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව පවසන වසන්ත අතුකෝරළ මහතා සමෘද්ධියෙන් රුපියල් 4500ක් ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද සඳහන් කළේය.   
එම දුප්පත් පවුල්වලින් රජය මාසිකව වක්‍ර බදු ලෙස ලබාගන්නා මුදල් ප්‍රමාණය ඔවුන්ගේ ආදායමෙන් සියයට නවයක් බවද ඔහු පැවැසුවේය.