සාම්පූර්වලට සෝලා බලාගාරයක්


උපුල් වික්‍රමසිංහ

ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (NTPC) හා ලංකා විදුලි බල මණ්ඩලය එකතු වී සාම්පූර් ප්‍රදේශයේ මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

එම ආයතන දෙකටම සියයට 50 බැගින් කොටස් හිමි Trinco power corporation Limited නමැති නව සමාගමක් පිහිටුවා ඇති බවත්, මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ මෙගා වොට් 50 ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් කී ලේකම්වරයා ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනය මේ වෙන විට අවසන් කර ඇතැයි ද සඳහන් කළේය.
මේ ව්‍යාපෘතියට අදාළ සාම්පූර් සිට කප්පල්තුරෙයි දක්වා විදුලිය රැගෙන යන සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ලංකා විදුලි බල මණ්ඩලය බාරගෙන ඇතැයි ද, එය අවසන් කිරීමට වසර එකහමාරත් දෙකත් අතර කාලයක් වැය වෙතැයි ද කී ලේකම්වරයා බලාගාරයත් ඒ කාලසීමාව ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවද කීවේය.