සහල් මිල පාලනයට තවත් ගැසට් නිවේදනයක්


(අජන්ත කුමාර අගලකඩ)   

 ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය සඳහා තවත් ගැසට් නිවේදනයක් නිකුත් 
කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ .   


 වී මෝල් සහ වී රැස්කරන්නන් සතුව ඇති වී හා සහල් තොග සහ ගබඩා පහසුකම් සම්බන්ධයෙන් සතියක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.   

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් බදාදා පැවැති ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා වූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ඇත.   


 වෙළෙඳ පොළේ සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් සහල් මිල පාලනය සඳහා පොන්නි සම්බා ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අවසර දෙන්නැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජීවන වියදම් කමිටුවේ දී ඉල්ලීමක් කර ඇත.   


 එය රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ බැවින් සහල් ආනයනය සඳහා අවසර දිය නොහැකි බවත්, අවශ්‍ය තරම් සහල් තොග රට තුළ තිබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.