සර්වපාක්ෂික හමුවේ දී රාජිත - සරත් වීරසේකර හැප්පෙති


අජන්ත කුමාර අගලකඩ   

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ, පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදීම සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති සර්ව පාක්ෂික හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන් අතර උණුසුම් බහින්බස්වීමක් ඇති වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

දහතුන්වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කරමින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටීම අගය කරමින් රාජිත සේනාරත්න මහතා අදහස් දක්වා ඇති අතර, සරත් වීරසේකර මහතා ඊට දැඩි විරෝධය පළ කර ඇතැයි දැනගන්නට තිබේ.   


ජාතික ප්‍රශ්නය විසඳීමට උත්සාහ ගන්නා අවස්ථාවේ ඊට අකුල් නොහෙළන ලෙස රාජිත සේනාරත්න මහතා සරත් වීරසේකර මහතාට ප්‍රකාශ කර ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ රණවිරුවන් දිවි පරදුවට තබා බේරාගත් රට දෙකඩ කිරීමට ඉඩ දිය නොහැකි බව ය.   


13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා වලට ඉඩම් බලතල ලබාදීම රට දෙකඩ කිරීමක් බවද ඔහු සඳහන් කර ඇත.   


ඉඩම් බලතල බෙදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කුමාර වෙල්ගම යන මහත්වරුන්ද පක්ෂව දහස් දක්වා ඇති අතර, වීරසේකර මහතාගේ සහායට අදහස් දක්වා ඇත්තේ, අතුරලියේ රතන හිමියන් සහ ගෙවිඳු කුමාරතුංග මහතා පමණක් බව දැනගන්නට ඇත.