සරසවිවලට නව බඳවා ගැනීම් කල්යාමෙන් තරුණ ජීවිතවල හොඳම කාලය අපතේ


ඉන්දික හේවාවිතාරණ

උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල නිකුත් කර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සඳහා මේ වෙන විට මාස 12 ත් 16 ත් අතර කාලයක් ගතවෙමින් තිබෙන බවත් මේ නිසා තරුණ ජීවිතයේ හොඳම කාලයෙන් කොටසක් අපතේ යන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

මේ වන විට විශ්වවිද්‍යාලවලට බඳවා ගනිමින් තිබෙන්නේ 2022 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි පිරිස් බවත් 2023 වසරට අදාළවත් මේ වන විට උසස් පෙළ විභාගය පවත්වා තිබෙන බව ද එම සංගමයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේය.


බඳවා ගැනීම් ආරම්භ කර අදාළ කටයුතු අවසන් කිරීමටත් මාස හතක් අටක් ගත වන බවත් ප්‍රතිඑල නිකුත් කර කෙටිකාලයක් තුළ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සිදුකළහොත්  නිවෙස්වලට වී නිකරුණේ ගත කිරීමට සිදුවන කාලය අඩුකර ගත හැකි බවද පැවසීය.


අචාර්ය හිඟය හා  විශ්වවිද්‍යාලවල පවතින සම්පත් හිඟය නිසා විශ්වවිද්‍යාලවට ඇතුළත් වීමෙන් පසු සිසුන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් අධ්‍යාපනය හැදැරීමට සිදුව තිබෙන බව ද සඳහන් කළේය.


මේ නිසා විශ්වවිද්‍යාලවල පවතින තත්වය පිළිබඳව දේශපාලන පක්ෂ හා නියෝජිතයන් දැනුවත් කිරීමට හා වෘත්තිය සමිති දැනුවත් කිරීමට වැඩ පිළිවෙලක් ආරම්භ කළ බවත් අදාළ ගැටලු විසඳන ලෙසට හඬක් නැගීම සියලුම දෙනාගේ වගකීමක් බව ද පැවසීය.