සමෘර්ධියට වෙන් කළ මුදල දිගටම වැඩි වෙලා


උපුල් වික්‍රමසිංහ

වසර 2022 දී සමෘද්ධි සහනාධාරය සඳහා රුපියල් බිලියන 121 ක මුදලක් වෙන් කර ඇති බවත් එය 2021 වසර සමග සැසඳීමේදී සියයට 118 ක ඉහළ යෑමක් බවත් “රාජ්‍ය වියදම්, අයවැය හිඟය සහ රාජ්‍ය ණය” නමින් වෙරිටේ රිසර්ච් ආයතනය  පැවැත් වූ වැඩසටහනකදී ඉකුත් දා අනාවරණය විය. 

ඒ අනුව 2021 වසරේදී සමෘද්ධි සහනාධාරය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 55 ක් වූ අතර 2020 දී රුපියල් බිලියන 52 ක්ද 2019 දී රුපියල් බිලියන 45 ක්ද 2018 දී රුපියල් බිලියන 39 ක්ද 2017 දී රුපියල් බිලියන 40 ක්ද 2016 දී රුපියල් බිලියන 41 ක්ද 2015 දී රුපියල් බිලියන 40 ක්ද වශයෙන් වැය කර තිබේ.


මේ අතර වසර 2022 ට පෙර ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසඳීමේදී සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් අඩුම මුදලක් වැය කර තිබෙන්නේ ශ්‍රී ලංකාව බවත් 2015-2020 කාලයේදී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙන් කළ මුළු මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.41 ක් බවත් බංග්ලාදේශය, ඉන්දියාව, මැලේසියාව, නේපාලය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් ශ්‍රී ලංකාවට වඩා වැඩි මුදලක් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන් කර ඇති බවත් එහිදී හෙළි විය. 


2015-2019 කාලයේදී බංග්ලාදේශය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් සියයට 0.77 ක්ද ඉන්දියාව 2016 දී සියයට 1.43 ක්ද මැලේසියාව 2015-2016 කාලයේදී සියයට 0.57 ක්ද නේපාලය 2015-2021 කාලයේදී සියයට 1.60 ක්ද පාකිස්තානය 2015-2021 කාලයේදී සියයට 0.41 ක්ද පිලිපීනය 2015-2016 කාලයේදී සියයට 0.55 ක්ද 2018-2020 කාලයේදී තායිලන්තය සියයට 1.60 ක්ද 2015-2016 කාලයේදී වියට්නාමය සියයට 1.55 ක් ද වෙන් කර තිබේ.