සමෘර්ධි බැංකු පොත්වල කෝටි 5359 ක් රජයේ වැඩවලට අරන්


- විගණන වාර්තාවක් කියයි

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ගිණුම්වල පවතින  රුපියල් කෝටි 5359 කට වැඩි මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම මුදලින් රුපියල් කෝටි 5329ක් (පොලී සහිතව) 2022 වසරේදී  තවදුරටත් අයවීමට තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.


මේ අතර  ප්‍රතිලාභීන්ට සහනාධාර ගෙවීම් කිරීමෙන් පසු ඉතිරි වූ රුපියල් කෝටි 17 ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන විටත් අරමුදල වෙත නිදහස් නොකර පොදු තැන්පත් ගිණුමේ රඳවා තිබූ බව  ජාතික විගණන  කාර්යාලය පවසයි.


වසර 2 කට වඩා පැරැණි, අය විය යුතු ණය ශේෂ වලින් 2022 වර්ෂයේදී  අය කරගෙන තිබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවද වාර්තාවේ දැක්වේ.


නිලධාරීන් පිරිසකට රුපියල් දෙලක්ෂ පනස් දහස  බැගින් ආපදා ණය ලබාදී තිබුණද වාරික කිසිවක් අය කරගෙන නොතිබූ බව  එම කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි  සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.