සමාගම් වලට කෝටි 1600 ක අයුතු ලාභයක්


සීනි බදු අඩු කිරීම :

  • තිරිඟු‍ සමාගම් දෙකකටත් කෝටි ගාණක ලාභයක්
  • ක්‍රම සහ විධි කාරක සභාව කියයි

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

සීනි  සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පනහේ සිට සත 25 දක්වා අඩු කිරීමෙන් ආනයනකරුවන්  රුපියල් කෝටි 1600 ක අයුතු ලාභයක් උපයා ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ. 

නැවත එම බද්ද සත විසිපහේ සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් සීනි ආනයන සමාගම් රුපියල් බිලියන ගණනින් අයුතු ලාභ උපයා ඇති බව ද එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


මෙම බදු අඩු කිරීම කර තිබුණේ 2020 ඔක්තෝබර් මාසයේදීය. එසේම  තිරිඟු පිටි ආනයනය 2023 අගෝස්තු මස තහනම් කර නැවත තිරිඟු පිටි ආනයනය කිරීමට ඉඩ දීමෙන් සැපයුම්කාර සමාගම් දෙකක් මිලියන ගණනින් අයුතු ලාභ උපයා ඇතැයි ද  කාරක සභාව පවසයි.


අනෙකුත් සමාගම්වලට තිරිඟු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේ දී තහනම් කරනු ලැබීම නිසා ප්‍රධාන පිටි ප්‍රධාන සමාගම් දෙක විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කර ගත් බව  සභාපතිවරයා පෙන්වා දුන්නේය. අනතුරුව මාස කීපයකින් තිරිඟු පිටි සඳහා රුපියල් 16 ක බද්දක් පැනවීමත් සමග මෙම සමාගම් දෙක විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරට ජනතාවට හිමි යුතු බදු සහනයක් නොලැබී යන බව ද ඔහු කීවේය.


ඉහත සමාගම්  උපයා ඇති ලාභ පිළිබඳව නිවැරදි තක්සේරුවක් කර බදු අයකිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹන ලෙසටද  දැනුම් දුන්නේය.