සමාගමක් මුතුරාජවෙල පර්චස් 65,000ක් බූදලයට ලියාගෙන: කෝපා කමිටුවෙන් විමර්ශනයක්


(සුජිත් හේවාජුලිගේ)  

පරිසර සංවේදී කලාපයක් වන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චස් හැටපන්දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් මිලදීගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) ඉහළ අවධානය යොමුවී ඇත. ගම්පහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයට මුදල් ගෙවා මෙම මිලදීගැනීම කර ඇති අතර ඒ සඳහා උදව් කර ඇතැයි පැවසෙන එම දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් මෙතෙක් කර නොතිබීම ගැන කෝපා කමිටුව විමතිය පළකර ඇත.  

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා ඇතත් ඔවුන් පැමිණීම මගහැර ඇත.  
ඒ පිළිබඳව එම කාරක සභාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළකර ඇතැයි කෝපා කමිටු වාර්තාවක සඳහන් වේ.  


මේ අතර පරිසර සංවේදී මුතුරාජවෙල භූමියට කිසිවකුට හෝ අනවසරයෙන් ඇතුළු වීමට ඉඩ නොදිය යුතු බවටත් එහි කිසිදු ගොඩ කිරීමක් නොකිරීමට වගබලා ගත යුතු බවටත් කමිටුව පරිසර අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට උපදෙස් දී ඇත.  


මේ අතර මුතුරාජවෙල අභයභූමියේ අනවසරෙන් කැණීම් කරමින් සිටියදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ යන්ත්‍රය වෙනුවට වෙනත් බැකෝ යන්ත්‍රයක් පොලිසියට ඉදිරිපත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමුවී ඇත.