සාපෙළ වැඩිම සමතුන් දකුණෙන් - සියයට 73ක් ඉංග්‍රීසි සමත්


රංජන් කස්තුරි 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 13,392 දෙනකු ඒ සමාර්ථ 9 ලබා ගැනීමට සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි පැවසුවාය.

මෙවර උසස් පෙළට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 237,026 ක් බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

එම සංඛ්‍යාව විභාගයට පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 73.45 ක් පමණ වන බවද ඇය සඳහන් කළාය. 
සියලු‍ම විෂයන් අසමත් සිසුන් සංඛ්‍යාව සියයට 2.34 ක් පමණ වන බවද කොමසාරිස් ජනරාල්වරිය කීවාය.

මේ අතර පළාත් අනුව ගත් විට වැඩිම සිසුන් පිරිසක් විභාගය සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය සියයට 75.64 ක ප්‍රතිශතයක් බවද ඉන්දිකා කුමාරි මහත්මිය කීවාය.

ඒ අනුව එක් එක් පළාත් අනුව ගත්විට බස්නාහිර සියයට 74.47 ක්ද මධ්‍යම සියයට 73.91 ක්ද දකුණ සියයට 75.64 ක්ද උතුර සියයට 69.86 ක්ද ආදී වශයෙන් විභාගය සමත්ව තිබෙන බවද කොමසාරිස් ජනරාල්වරිය කීවාය. 

තවද නැගෙනහිර සියයට 74.26 ක්ද වයඹ සියයට 71.47 ක්ද, උතුරු මැද සියයට 70.24 ක්ද, ඌව සියයට 73.14 ක්ද, 
සබරගමුව සියයට 73.44 ක්ද ආදී වශයෙන් විභාගය සමත්ව තිබෙන බවද ඇය කීවාය. 

මේ අතර ගණිතය සියයට 69.07 ක් විද්‍යාව සියයට 71.06 ක් ඉංග්‍රීසි සියයට 73.82 ක් ආදී වශයෙන් සමත්ව සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය. 

මීට අමතරව බුද්ධර්මය සියයට 83.21 ක්, ශෛවනෙරි සියයට 82.96 ක්, කතෝලික ආගම සියයට 90.22 ක්, ක්‍රිස්තියානි සියයට 91.49 ක්, ඉස්ලාම් ධර්මය සියයට 85.45 ක්, සිංහල භාෂාව හා සාහිත්‍ය සියයට 87.73 ක් සහ දෙමළ භාෂාව හා සාහිත්‍ය සියයට 87.03 ක් ආදී ප්‍රතිශතයකින් සිසුන් සමත්ව සිටින බවද ඇය කීවාය.