සුනඛයින් නිසා මාර්ග අනතුරු ඉහළට


ඉන්දික හේවාවිතාරණ

සුනඛයන් වීදිවලට හා මාර්ගවලට පැමිණීම වැඩිවීම නිසා සපා කෑම හා සුනඛයන් නිසා සිදුවන මාර්ග අනතුරු ඉහළ ගොස් තිබෙන බව සත්ව සුබසාධන සංසදය සඳහන් කරයි.

සමස්ත සුනඛ ගහනයෙන් සියයට 97කට ආසන්න ප්‍රමාණයකට අයිතිකරුවෙකු සිටින බවට වාර්තා වුවත් එම ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිදැල්ලේ හැසිරෙන බවද එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජලභීතිකා ආඥා පනත හා සත්ව සුබසාධන පනත සංශෝධනයට අදාළ කටයුතු පසුගිය ආණ්ඩු සමයේ දී සිදු කළ හෙයින් එම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කළ යුතු බව ද ඔහු පැවසීය.

මෙම නීති ක්‍රියාත්මක කළහොත් අයිතිකරුවෙකු සිටින සුනඛයෙකු නිදැල්ලේ යාමට ඉඩ හැරීමට එරෙහි ව අදාළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසීය. මේ වන විට රට තුළ සුනඛයන් ලක්ෂ 21ක් පමණ සිටිය ද මීට වසර කිහිපයකට පෙර සුනඛයන් ලක්ෂ තිහක පමණ ප්‍රමාණයක් සිටිය බවත් 2008 වසරේ සිට සිදුකරන වන්ධ්‍යකරණ සැත්කම් නිසා ගහනය අඩු වුවත් පසුගිය වසරේදී එම වැඩපිළිවෙළ අඩපණ වූ බවත්‍ ඔහු සඳහන් කළේය.

මේ වසරෙහිදී අදාළ වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක වෙන ආකාරයක් පෙන්නුම් නොකරන අතර පසුගිය වසරේදී ජාතික ජලභීතිකා මර්දන වැඩසටහන් සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් අයථා ලෙස භාවිත කිරීම පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා  සත්ත්ව සුබසාධක සංසදය විසින් පසුගිය 09 වැනි දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සිදුකළ බව වෛද්‍ය චමිත් නානායක්කාර සඳහන් කළේය.

පසුගිය වසරේදී අදාළ කටයුතු සඳහා රු.මි. 200ක මුදලක්  වෙන්කර තිබූ බවත් එම මුදලින් සියයට පනහක් පමණක් වියදම් කර තිබෙන බවත් වියදම් කළ මුදල් සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවත්  ඔහු පැවසීය.

සමස්ත සුනඛ ගහනයෙන් සියයට තුනකට අයිතිකරුවන් නොමැති නිසා මෙම සතුන් කඩපිල්වල, වීදිවල හා කැලෑබද ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වන බවත් තවත් පිරිසක් පොදු ස්ථානවල රැඳී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.