සති තුනකදී කෑලෑ ගිනි තැබීම් 57 ක්


ඉන්දික හේවාවිතාරණ

කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ගිනි තැබීම් සිද්ධීන් පනස්හතක් (57) වාර්තා වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අනුව මේ වසරේ ගෙවී ගිය කාලයේදී කැලෑ ගිනි තැබීමේ සිද්ධීන් හැටක් (60) වාර්තා වී  ඇත. කැලෑ ගිනි තැබීම් නිසා පවතින වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම් තවදුරටත් ඉහළ යන බව ද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.


කැලෑ ගිනි තැබීම් නීති මගින් දඬුවම් ලැබෙන වරදක් නිසා මෙවැනි ක්‍රියාවලින් වළකින ලෙසත්, කැලෑ ගිනි තැබීම් සම්බන්ධ සිද්ධීන් වාර්තා වන අවස්ථාවේදීම ඒ පිළිබඳව 117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් දෙයි. රක්ෂිත ප්‍රදේශවල ගිනි තැබීම් සිදු කරන්නන් 2009 අංක 65 දරණ කැලෑ සංශෝධන පනතට අනුව වරදකරුවෙකු වෙන බව ද එවැනි වරදකට වසර හතකට නොවැඩි  කාලයක් බන්ධනාගාර ගත කිරීම හා රුපියල් දෙලක්ෂයකට නොවැඩි දඩයකට යටත් කිරීම කළ හැකි බව ද කියයි.


මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳව අරක්ෂක අංශවලට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට හෝ තොරතුරු ලබා දෙන ලෙසටද  ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක පවුල් එක්දහස් නවසිය පනස් එකකට අයත් පුද්ගලයන් හයදහස් තුන්සිය අසූනවයක් ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.