සජබ සහ ජාජබ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සාකච්චා වර්ජනය කරයි


අජන්ත කුමාර අගලකඩ

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා ආණ්ඩුව කැඳවන සාකච්ඡා වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත්, ජාතික ජනබලවේගයත් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පළමු සාකච්ඡාවට ද මෙම පක්ෂ දෙක සහභාගි නොවීය.

ලබන වසරේදී ජනාධිපතිවරණයත්, 2025 වසරේදී මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව තිබියදී, ආණ්ඩුව හදිසියේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කරන්නේ මැතිවරණ කල්දැමීමට බැවින් ,එම සාකච්ඡාවලට සහභාගි නොවීය යුතුය යන්න එම පක්ෂ දෙකේ ස්ථාවරය වී ඇත.


මේ  අතර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා මහ මැතිවරණයේ අනුපාත ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ විරෝධය පළ කර ඇත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා පැවති සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් යන මහත්වරුන් ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. මෙය සුළු ජාතීන්ගේ අයිතිය අහෝසි කිරීමක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.


නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා වන කෙටුම්පතක් අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මීට සති කිහිපයකට ඉහත දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉකුත් දා පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ද ඔහු මේ පිළිබඳව පැහැදිලි කර ඇත.