සජබ මහලේකම් සහ චම්පික හමුවක්


නිමල කොඩිතුවක්කු

සමගි ජනබලවේගයෙන් ඉවත්ව සිටින එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් අතර හමුවක් සිදුව තිබේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුව ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සතිය තුළ එම සාකච්ඡා වටයේ තවත් තීරණාත්මක හමුවක් පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.


මේ අතර වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් සමග සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී සමාජ ගිවිසුමකට අත්සන් කරනු ලැබීය.


දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. වේලුකුමාර් සහ එම්. උදයකුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමග මෙහිදී ගිවිසුම් ගතවිය.