සජබ - නිදහස සන්ධානය ඉක්මන් වෙයි


 

උපුල් වික්‍රමසිංහ

සමගි ජන බලවේගය හා නිදහස ජනතා සභාව එක් වී ගොඩනගන නව දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනම් කිරීමට පසුගිය අඟහරුවාදා  රැස් වූ එම කණ්ඩායම් දෙකෙහි තරුණ නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම සන්ධානය සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, ඒ අනුව නව සන්ධානය ඉක්මනින් පිහිටුවීම ප්‍රතිඵල දායක බවද ඔවුන් තීරණය කර තිබේ. සන්ධානය පිහිටුවා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්වීමට ද එහිදී තීරණය වී තිබේ.


එම සාකච්ඡාවට පෙර සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාත් අතර හමුවක් පැවැත්වුණු අතර එහිදී මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ වැදගත්කමත් එය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ගැනත් සාකච්ඡා වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාව සඳහා දෙපාර්ශ්වයේ නායකයන් කිහිප දෙනෙකු සහභාගී වූ බව වාර්තාවෙයි.


ආණ්ඩුව හා එහි ක්‍රියාකාරීත්වයට එරෙහිව මහජන මතය පෙළ ගැස්වීමේ අරමුණින් මේ නව සන්ධානය ඉක්මනින් පිහිටුවන බවද එම ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.