සංචාරකයෝ එනවා වැඩියි යාල - විල්පත්තු වහන්න පස්ස ගහයි


සුජිත් හේවාජුලිගේ

අධික නියඟ තත්ත්වය හේතුවෙන් යාල සහ විල්පත්තුව ඇතුළු වනෝද්‍යාන වසා දමන ලෙස ඒවායේ නිලධාරීන් ඉල්ලීම් කර ඇතත්  හේතු කිහිපයක් නිසා එම තීරණය ගැනීමට පසුබසින තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

මේ දිනවල සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන හෙයින් මෙම වනෝද්‍යාන වසා දැමුවහොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.


මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  මේ දිනවල වනෝද්‍යානය වසා දැමුවහොත් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවයි. 


වනෝද්‍යාන  වසා දැමීමට තවමත් තීරණයක් ගෙන නැතැයි ද ඔහු සඳහන් කළේය. සතුන්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන නියඟ කාලවලදී වනඋද්‍යාන වසා දැමීම සාමාන්‍ය ක්‍රමවේදයක් බව වනජීවී නිලධාරීහු පවසති. අධික නියඟ තත්ත්වය හේතුවෙන්  වන උද්‍යානවල වනසතුන් ලක්ෂ සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව සිටිති.
මේ අතර, ගවපට්ටි හිමිකරුවන් විසින් වනෝද්‍යානවලට යොමු කරන ලද ගවයන් විශාල සංඛ්‍යාවක්  අධික නියඟය හේතුවෙන්  ගම් බිම්වලට නැවත පැමිණෙමින් සිටින බව ද වාර්තා වෙයි.