ශානි කෝටි 100 ක් වන්දි ඉල්ලයි


මනෝප්‍රිය ගුණසේකර

තම ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනකුගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා සිටී.

බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන, අධිකරණය අනිසි ලෙස භාවිතා කරමින්, මාස 11ක පමණ කාලයක් පුරා රක්ෂිත බන්ධනාගාර ගත කරවීමෙන්, නොකැළැල් චරිතයකින් හෙබි තමාගේ ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර මහතා මෙලෙස වන්දි ඉල්ලා සිටින්නේ පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත නමැත්තන්ගෙන්ය.”


තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට විවිධ පුද්ගලයින්ට බලපෑම් කරමින්, අධිකරණය අනිසි ලෙස භාවිත කරමින්, ද්වේශ සහගත ලෙස තමා රිමාන්ඩ් බාරයට පත්කරවීමෙන්, තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් වන්දි ඉල්ලමින් ශානි අබේසේකර මහතා කොළඹ දිසා අධිකරණයට මෙම නඩුව ඉදිරිපත් කර කර ඇත.


කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී සොයා ගත් ගිනි අවි සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තීරණයකට අනුව බව කියමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙනම විමර්ශණයක් කර තමා අත්අඩංගුවට ගෙන මාස 11ක් රිමාන්ඞ් බාරයට පත්කරවු බවත්, පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත තමා නිදහස් කෙරුණු බවත් කී ශානී අබේසේකර මහතා, වගඋත්තරකරුවන්, තම ආත්ම ගරුත්වයට කළ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක වන්දි ඔවුන්ගෙන් අයකර දෙන්නැයි ඉල්ලා සිටී.