ශ්‍රීලනිප සංවත්සරය හෙට්ටිපොළින් කොළඹට?


අජන්ත කුමාර අගලකඩ

හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂය තුළ මත ගැටුමක්  නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි දැනගන්නට ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  සංවත්සර සමුළුව ලබන මස 02 වැනිදා හෙට්ටිපොළ දී පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි.‚එහෙත් පසුව එම තීරණය හදිසියේ වෙනස් කර සංවත්සර සමුළුව ලබන මස  තුන්වැනිදා  ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වීමට තීරණය කර ඇත. අප මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ,හෙට්ටිපොළ දී පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර සමුළුව කොළඹ දී පැවැත්වීම සම්බන්ධයෙන් තමාගේ කැමැත්තක් නොමැති බවය.


මෙය ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ වුවමනාවට කළ දෙයක්  බව කී හෙතෙම පක්ෂය සිටින්නේ විපක්ෂයේද ආණ්ඩුවේද යන්න මුලින් තීරණය කරගත යුතු බව සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක් බවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.