ශ්‍රී ලංකාවේ හෙලිකොප්ටර් නියමුවෝ 50ක් පිටරට තෙල් ආකරවල වැඩ


(සුජිත් හේවාජුලිගේ)  

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින හෙලිකොප්ටර් නියමුවන් 50 කට ආසන්න පිරිසක් මැදපෙරදිග තෙල් ආකරවල විවිධ මෙහෙයුම් කටයුතුවලට යොදවා ගන්නා හෙලිකොප්ටර් යානාවන්හි නියමුවන් ලෙස බඳවාගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවන් තවත් පිරිසක් ඕමානය ඇතුළු රටවල් කිහිපයක පොලිස් හෙලිකොප්ටර් යානාවල නියමුවන් ලෙස බඳවාගෙන ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක්ද විදේශ ගුවන් සේවයන්හි ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා සම්බන්ධ කරගෙන ඇතැයි ප්‍රකාශ කරයි.  


එම පිරිස මෙසේ බඳවා ගෙන ඇත්තේ ඔවුන්ගේ පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම සැලකිල්ලය ගෙන බවත් මෙම පිරිස් මාර්ගයෙන් මෙරටට ඩොලර් විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් ගුවන් හමුදාව පවසයි.  
මේ අතර අප්‍රිකාවේ සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවන් දස දෙනකු පමණ හෙලිකොප්ටර් කිහිපයක්ද සමග රාජකාරියේ යොදවා සිටින බව පවසන ගුවන් හමුදා මූලස්ථානය එමගින්ද ඩොලර් කෝටි දොළහක් පමණ දැනටමත් ලැබී ඇතැයි සඳහන් කරයි.  
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ ශිල්පීන් රැසක් මෑත කාලයේදී විදේශයන්හි දුම්රියවල අලුත්වැඩියා කටයුතු සඳහා ද බඳවාගෙන ඇති බව ගුවන් හමුදා ප්‍රධානීහු පවසති.